Ata Maha Kusal “අටමහ කුසල්” මේ ගැන ඔබ වහන්සේගේ අදහස කුමක්ද? මා සිතන හැටියට මෙය ද ලාභ ප්‍රයෝජන ලැබීමට යොදන ලද ප්‍රයෝගයකි

“ ප්‍ර: කඨිනං ච පරික්ඛාරං වාසදානංච උත්තමං
බුද්ධ පපමුඛ සංඝස්ස දානං ධම්මස්ස ලෙඛණං
ඛෙත්තදානංච බුද්ධස්ස පටිමා කාරණමපිච
කරණං වච්චකුටියා, අට්ඨපුඤ්ඤානි වුච්චරෙ

මේවා අටමහ කුසල් හැටියට ප්‍රසිද්ධය. මේ ගැන ඔබ වහන්සේගේ අදහස කුමක්ද? 

උ: මා සිතන හැටියට මෙය ද ලාභ ප්‍රයෝජන ලැබීමට යොදන ලද ප්‍රයෝගයකි. –

>>> “සත්‍යොදය” වල්පොල රාහුල හිමි

1.කඨින චීවර පූජා කිරීම 2. අටපිරිකරදීම 3. ආවාස දානය 4 .බුදුන් ප්‍රධාන සංඝයාට දන්දීම 5.බණ පොත් ලියවීම 6. කුඹුරු දීම 7.බුද්ධ ප්‍රතිමා සෑදීම 8.වැසිකිළි සෑදීම යන මේවා අටමහ කුසල් බැව් මේ ගාථා වලින් ප්‍රකාශ වෙයි. නමුත් මේ එකක්වත් එතරම් සැලකිය යුතු නොවේ.මේවා පින් සිදුවන ක්‍රියා හැටියට පිළිගත හැකි වුවත් , මහ කුසල් යැයි කීමට යුතුකමක් නැත. මේ සියල්ලමත් එක සිල්පදයක් රැකීම තරම් නොවටී. මේ ගාථාවේ හැම පදයකින්ම වාගේ භික්‍ෂූන්ට ලාභයක් සැලසෙන්නට වැඩ පිළියෙල කරනු ලැබේ. මේවායේ ආනිසංසද මුව නොසෑහෙන පරිදි භික්‍ෂූහු වර්ණනා කරති. මේ වැඩපිළිවෙළ නිසා මනුෂ්‍යයෝ අභ්‍යන්තර ධර්මයන්ගෙන් බොහෝ දුරට ඈත් වී සිටිති. වීර්ය, අධිෂ්ඨානය, සත්‍ය, ශාන්තිය, මෛත්‍රිය, ප්‍රඥාව ආදි ශ්‍රේෂ්ඨ ගුණයන් ගැන කිසිත් නො සලකා බාහිර දේම බුද්ධාගම කොට සලකන්නට බොහෝ දුරට පුරුදුවී තිබෙන්නේ මෙබඳු ඉගැන්වීම් නිසාය.

“සත්‍යොදය” වල්පොල රාහුල හිමි

බුදුරජාණන් වහන්සේ වසර හතළිස් පහක ස්වකීය ධර්මාන කාලයේ දී පින් අනුමෝදන් කර ඇති තැනක් තුන් පිටකයේ දක්නට නැත. දානය පමණක් නොව වෙහෙර විහාර ආරාම ආදිය පූජා කළ දායක දායිකාවන්ට පවා ඒවා පිළිගැනීමෙන් පසුව සිදුකළේ බුත්තානු මෝදනාවකි. පින් අනුමෝදන් කළේ නැත. පින්අනුමෝදනාව කරනු ලැබුවේ ආත්මවාදීන්ය. මෙය කියවන පාඨකයා සමහර විට කලබල වී තිරොකුඩ්ඩ සූත්‍රය දේශනා කළේ පින් අනුමෝදනා කිරීමට නො වේ දැයි සිතනු ඇත.

එ වැනි අය කාලාම සූත්‍රය ගැන අවධානය යොමු කිරීම මැනවි. “ මා පිටක සම්පදානේන “ පිටකයෙහි තිබූ පමණින් පිළිගන්නට එපා යැයි වදාළේ එ වැනි දෙයක් එක් වරම පිළිගැනීමෙන් සත්‍ය වටහා ගැනීමට නොහැකි හෙයිනි.

පසු කාලවලදී බුද්ධ භාෂිතයන් නො වන බොහෝ දේ පෙළපොත් වලට ඇතුළත් කර තිබේ. තිරොකුඩ්ඩ සූත්‍රය ද එ වැනි සූත්‍රයක් බව බුද්ධ වචනයත් සමග සසඳා බලන කල වැටහෙනවා ඇත.මෙම සූත්‍රයෙන් ආත්ම වාදය බුදුසමය තුළට පෑල දොරින් ඇතුළත් කිරීමට ප්‍රයත්නයක් දරා ඇති බව පෙනෙන්නට තිබේ.

දානයේ ආනිසංස ඉතා කෙටියෙන් පැහැදිලි කරතොත් එම ආනිසංස දෙපාර්ශ්වයටම අයත් වන්නේ මෙසේ ය. භික්‍ෂුවකට දානයට ආහාර වේලක් පූජා කරන්නේ නම්, එයින් භික්‍ෂුවට ලැබෙන ආනිසංසය උන්වහන්සේගේ කුසගින්න නිවීමෙන් ආයු, වර්ණ , සැප, බල , ප්‍රඥා බල යන පහ ලැබීමයි. දානය පිරිනැමූ දායකයාට එයින් ලැබෙන ආනිසංසය එම භික්‍ෂූන් වහන්සේගෙන් ධර්මය අසා සත්‍ය අවබෝධ කර ගැනීමයි.

සිවුරක් හෝ වෙනත් පිරිකරක් පූජා කිරීමෙන් ද එම ස්වාමීන් වහන්සේගේ අවශ්‍යතාවයන් සපුරා ගනු ලැබේ. දන් දුන් පුද්ගලයාට මෙයින් සත්‍ය අවබෝධ කර ගැනීමට උපකාරයක් වන්නේ නම් ඊටත් වඩා ලොකු ආනිසංසයක් තවත් කොයින්ද? බුදුරජාණන් වහන්සේගේ කාලයේ දී බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ සිය දහස් ගණන් භික්‍ෂු සමූහයාට මිනිසුන් දන් දුන්නේ පින් බලාපොරොත්තුවෙන් නොව යුතුකම් ඉෂ්ඨ කිරීමක් වශයෙනි.

බුදුදහම ආගමක් බවට පත් වීමෙන් පසුව නොයෙකුත් පුද පූජා කටයුතු වලට හා පින්කම් වලට බෞද්ධ ජනතාව හසුකර ගැනීම නිසා අද බෞද්ධයා ආර්ය මාර්ගයෙන් බොහෝ දුරට ඈත් වී සිටිති.

ජිවන යාත්‍රාව වන්දනා ගමනක් කරගත් බෞද්ධ ජනතාව නිරන්තරයෙන්ම අනුන්ගෙන් පිහිට බලාපොරොත්තු වෙනි. අනුන්ගෙන් උදව් උපකාර පිහිට බලාපොරොත්තු වන්නේ අභ්‍යන්තර ගුණධර්ම දියුණුවක් නැති ස්වකීය බුද්ධියෙහි හා ශ්‍රමයෙහි වටිනාකම නොදත් නිවට නියාළු මිනිසුන් බව වටහා ගැනීමට මෙම සූත්‍ර පාඨය කදිම නිදසුනකි.

තමාට තමාත් නැති කල අනුන්ගෙන් කුමන පිහිටක් ද?
“අත්තාහි අත්තනොනාථො – කොහි නාථො පරොසියා “

නොපෙනෙන බලවේගවලට වැඳ වැටෙන කන්නලව් කරන
යාඥා කරන බුද්ධිහීන මිනිසුනට මෙය හොඳ පාඩමකි.

විචාර බුද්ධියෙන් තොර අන්ධ භක්තියෙන් හෙබි සමාජයක මිනිසුන් රවටා ගැනීමට කපටි පුද්ගලයින් ආගම අවියක් කොට ගනිති. ආගමේ නාමයෙන් කරනු ලබන සියලු පින්කම් හා පූජා කටයුතු වලින් කවරදාවත් ඔවුන්ට දුකින් මිදීමට නොහැකිය. දුකින් මිදීමට පැවිදි උතුමන්ටත් ගිහි ඕදාත වසන ජනතාවටත් බුදුන් වහන්සේ දේශනා කළේ එකම මගකි. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. කිසිදු පුද පූජාවක් ආර්ය මාර්ගයට ගව්ගණනකවත් සම්බන්ධයක් නැත. එසේ හෙයින් මිථ්‍යා දෘෂ්ඨියෙන් මිදී දහම් ඇස පාදා ගැනීමට උත්සුක වීම මැනවි.

Download

 

=====================================අපගේ සටහන්:-  බලන්න මේ මිත්‍යදෘෂ්ඨික භාවය පෙන්වන බුද්ධ වචනයට නිගා කරන වදන් මේ පින්තූරයේ තිබෙනවා. මේ මිත්‍යාදෘෂ්ඨිකයන් මුහුණු පොතේ පල කරන්නේ ” අකුසල් අහෝසි කරන්න නම් අටමහ කුසල් කරන්න කියලයි.

අද වෙනකොට මෙය අකුසල් නසන මහා පිංකමක් ලෙසට මුහුණු පොතේ ලාභසත්කාර උදෙසා විකිණෙන බව මේ පින්තූරය සාක්ෂි සපයනවා.

පුදපූජා පැත්තට ම පමණක් ගමන් කරමින් සිටින. ඒ මතින් ඇතිවී තිබෙන මිත්‍යාදෘෂ්ඨීන් වලින් මිදීමට මෙම සූත්‍රයන් තෝතැන්නක් වේ වා

  1. 7. මහාචත්තාරීසකසුත්තං – 2. අනුපදවග්ගො, උපරිපණ්ණාසපාළි, මජ්ඣිමනිකාය :-සම්මාදිට්ඨිය කියන්නේ කුමක් ද? > මිච්චාදිට්ඨිය කියන්නේ  කුමක් ද?
  2. 1.3.6 අරියපරියේසන සූත්‍රය – මජ්‌ඣිම නිකාය » මූල පන්නාසකය » 3. ඕපම්ම වර්ගය 
  3. ඉට්ට ධම්ම සුත්‍රය, අංගුත්තර නිකාය
  4. පඤ්චසීලසමාදානියත්ථෙරඅපදානං – ඛුද්දකනිකාය » අපදානපාළි-1 » සුභූතිවග්ගො » 
  5. වෙරසුත්තං. – පඤ්චකනිපාතපාළි » (18) 3. උපාසකවග්ගො » අඞ්ගුත්තරනිකාය.
  6. චූළහත්ථිපදොපම සූත්‍රය – මූල පන්නාසකය, 3. ඕපම්ම වර්ගය, මජ්‌ඣිම නිකාය.

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=22036

Leave a Reply