ඉතිහාසඥයකු වශයෙන් ආර්. ඒ. එල්. එච්. ගුණවර්ධනයන්ගේ කාර්යභාරය”

ඉතිහාසය අගය කරන තැනැත්තා තමන්ට නැති ඉතිහාසයක් වුවද ගොඩනඟා ගැනීමට උත්සාහ කරයි. ඔහු එසේ කරන්නේ තමන්ගේ අනන්‍යතාව තහවුරු කර ගැනීමට ඉතිහාසය ප්‍රබල සාධකයක් වන නිසා ය.[1] ඒ හේතුවෙන් වර්තමානය වන විට ඉතිහාසයේ වැදගත්කම පෙර යුගයන්ට වඩා ප්‍රබල ලෙසින් ප්‍රසාරණය වී ඇත.

නූතන සම්මතයට අනුව ඉතිහාසය යනු අතීත පරම්පරාවන්ගෙන් ශේෂ වී ඇති කරුණු කෙරෙහි ඥානය හා පරිකල්පනය යොදා ගොඩනඟා ඇති අතීතයේ ප්‍රතිබිම්බයයි. ඉතිහාසය ලිවීම පිළිබඳ නූතන ක්‍රමය ආරම්භ වුයේ 19 වන සියවසයේදීය. නූතන ඓතිහාසික ක්‍රමය විද්‍යාත්මක ඓතිහාසික ක්‍රමය යනුවෙන් හැදින්වීමට පුළුවනි. ඉතිහාසය ලිවීම කලාවක් ය යනු දිගු කලක සිට පැවතුණු සංකල්පයකි. එම අදහස දැනුදු සම්පූර්ණයෙන්ම අභාවයට ගොස් නැත. ඉතිහාසයෙන් සිදු වන්නේ අතීතය නැවත නිර්මාණය කිරීමකි. එහෙයින් එය කලාවකි. එහෙත් අතීතය නැවත නිර්මාණය කිරීමේදී ඉතිහාසඥයා කරුණු රැස් කරනුයේ විද්‍යාත්මක ක්‍රමයකට අනුවය. ඉතිහාසය ලිවීමේ දී අතීතය අලුතින් ම නිර්මාණය කිරීමක් සිදු වන්නේ නැත. අතීතය නිර්මාණය කරනු ලබන්නේ එයින් ඉතිරි වී ඇති කරුණු පදනම් කොට ගෙනය. මෙම කරුණු සත්‍ය ඒවා ද යන්න තීරණය කිරීමේදී විද්‍යාත්මක ක්‍රමයක් අනුගමනය කිරීමට සිදු වෙයි. වර්තමානයේ මෙරට ඉතිහාසය ලෙස හුවා දක්වනු ලබන බොහෝ කරුණුවල දී සැබවින්ම පර්යේෂකයින් හෝ ඉතිහාසඥයන් යැයි කියා ගන්නා පුද්ගලයින් අතින් සිදු වී නොමැති ප්‍රධානතම අවශ්‍යතාව වනුයේ ද මෙයයි.

මෙලෙස අප අධ්‍යයනය කරනු ලබන ඉතිහාසය නිර්මාණය කිරීමේදී වැදගත් ම කාර්යභාරයක් ඉටු කරනු ලබන්නේ ඉතිහාසඥයායි. සමස්ත අතීතයෙන් තෝරා ගනු ලැබූ කරුණු කාරණාවන් පිළිබඳ වඩා සාධනීය ලෙසින් සාක්‍ෂි විමසා එම කරුණු නැවත නූතන මානවයා වෙත සම්ප්‍රේෂණය කරනු ලබන්නේ ඉතිහාසඥයා විසිනි. එහිදී නිරන්තරයෙන්  ම ඔහුගේ අවධානය එම සිද්ධිය හා සිද්ධි දාමය සිදු වූවේ කෙසේ ද?, කිනම් ආකාරයකට ද?, කවදාද?, ඇයි?, යන ප්‍රශ්නාවලිය තුළ විභාග වෙමින් නිර්වචනය වූ කරුණු සමස්තය කෙලෙසින් නූතන මානවයා වෙත ඉදිරිපත් කිරීම මෙන් ම ඊට සාධාරණ විසඳුමක් එක්තැන් කිරීම සිදු කරනු ලබන්නේ ඉතිහාසඥයා විසිනි. ඒ අනුව සමස්ත අතීතයෙන් නිරවද්‍යවූත්, තෝරාගනු ලැබූත් කරුණු ඉතිහාසය වෙත ලබා දෙනු ලබන්නේ ඉතිහාසඥයායි. ඒ අනුව ඉතිහාස විෂයයේ දී ඉතිහාසඥයාට ප්‍රමුඛත්වයක් ලැබෙන බව පෙනී යයි.

ඒ අර්ථයෙන් බලන කල ශ්‍රී ලංකාවේ ඉතිහාසය වර්ධනය කෙරෙහි ඉමහත් දායකත්වයක් ලබා දුන් විද්වතෙක් ලෙසත්, ලාංකේය ඉතිහාසය නවමු දෘෂ්ඨිකෝණයක් යටතේ අධ්‍යයනය කරමින් නව තොරතුරු රැසක් ලොවට අනාවරණය කළ ඉතිහාසඥයෙකු ලෙසත් රණවීර ලෙස්ලි ගුණවර්ධන මහතා ඉමහත් ප්‍රසිද්ධියක් ලබා ඇති අතර ඔහුගේ එම සේවය දේශීය වශයෙන් මෙන් ම ජාත්‍යන්තර වශයෙන් ද ඇගයීමට පත් ව ඇත. ඉතිහාසඥයෙකුට අමතරව දේශපාලනඥයෙකු ලෙස ද කටයුතු කර ඇති එතුමා ශ්‍රී ලංකාව තුළ ඉමහත් කීර්තියක් අත් තර ගත් පුද්ගලයෙකු ද වේ.

මෙම පැවරුම මඟින් අවධානයට ගැනෙන්නේ එතුමාගේ කාර්යභාරයයි. ඒ අනුව පළමු ව එතුමාගේ පවුල් පසුබිම හා අධ්‍යාපන තත්ත්වයන් කෙරෙහි අවධානය යොමු කරන අතර ඉන් අනතුරුව වෘත්තීය තත්ත්වයන් හා ඉතිහාසඥයෙකු වශයෙන් මෙන් ම විද්වතෙකු වශයෙන් ඉතිහාස විෂය කෙරෙහි එතුමාගෙන් ඉටු වූ සේවය ඇගයීමට අපේක්‍ෂා කෙරේ.

02.    ජීවන පසුබිම.

රණවීර අප්පුහාමිගේ ලෙස්ලි හර්බට් ගුණවර්ධන මහතා (R. A. L. H. Gunawardene) 1938 අගෝස්තු මස 17 වන දින තෝලංගමුව නම් ප්‍රදේශයේ උපත ලැබීය.[2] ඔහු තරුණ වයසේ දී ඔහුගේ මව්පියන් දෙදෙනා ම මිය ගිය අතරඔහුගේ මාමා කෙනෙකු විසින් ඇති දැඩි කරනු ලැබීය. ඔහු තෝලංගමුව මධ්‍ය මහා විද්‍යාලයෙන් ප්‍රාථමික හා ද්විතීය අධ්‍යාපනය ලබා ගත් අතර උසස් අධ්‍යාපනය සඳහා 1956 වසරේ දී විශ්ව විද්‍යාල ප්‍රවේශ ලබා ගන්නා ලදි.[3] ඒ අනුව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයට ඇතුළත් වූ ඔහු 1960 වසරේ දී පැරණි ඉතිහාසය (Ancient History) ආශ්‍රිතව ශාස්ත්‍රවේදී පළමු පන්තියේ ගෞරව උපාධියක් ලබා ගනිමින් ඉහළින් ම සමත් විය.

ඔහු තම පශ්චාත් උපාධි (PhD) අධ්‍යයනය සඳහා ලන්ඩන් විශ්ව විද්‍යාලයේ ප්‍රාචීන හා අප්‍රිකානු අධ්‍යයන ශාස්‌ත්‍රාලයේ පර්යේෂණ අධ්‍යයනයන්හි නිරත වී, Arthur Llewellyn Basam සහ Johannes Gibsbertus de Casparis යන ආචාර්යවරයන්ගේ මඟ පෙන්වීම යටතේ ‘පළමු වැනි සේන සිට මාඝ ආක්‍රමණය තෙක්‌ සංඝ සමාජයේ ඉතිහාසය’ මැයෙන් වූ නිබන්ධනය (ශ්‍රී ලංකාවේ මුල් මධ්‍යතන යුගයේ පැවති බෞද්ධ පැවිදි ආයතන සම්බන්ධයෙන් ඔහුගේ පර්යේෂණ නිබන්ධනය නිර්මාණය විය.)[4] සඳහා 1965 දී ආචාර්ය උපාධියෙන් පුද ලැබීය. ඔහුගේ එම උපාධි නිබන්ධනය “Robe and Plough: Monasticism and Economic Interest in Early Medieval Sri Lanka” යන නමින් ඇමරිකා එක්සත් ජනපදයෙහි පිහිටි ඇරිසෝනා විශ්ව විද්‍යාලය මඟින් ප්‍රකාශයට පත් කරන ලැබූ අතර එය ලොව පුරා ඉමහත් කීර්තියක් ලබා ගත් පර්යේෂණ නිබන්ධනයක් මෙන් ම ග්‍රන්ථයක් වශයෙන් පිළිගනු ලැබේ. සිවුර හා නගුල හෙවත් මුල් මධ්‍යකාලීන ශ්‍රී ලංකාවේ විහාරාරාම සහ ආර්ථික අභිලාෂ යනුවෙන් ඉංග්‍රීසියෙන් හා සිංහලෙන් මහාචාර්ය ගුණවර්ධනයන් පළ කළ ග්‍රන්ථය දෙස් විදෙස් සම්භාවනාවට පාත්‍ර වූවකි.  read more

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=22938

Leave a Reply