Deitification of buddhism (බුදුදහම දේවාගමක් කිරීම)

පෙළිවෙත් පිරීම වෙනුවට ඇදහීම

තථාගත බුදු හිමියන් විසින් අනාවරණය කරන ලද විශේෂ දර්ශනය පැහැදිලි කිරීම වෙනුවට එය ද හින්දු දේව දර්ශනයේ ම තවත් එක් මුහුණුවරක් බව පාඨකයාට තේරුම් යන ආකාරයේ වෙනස් කිරීම් සිදුකර ඇති ආකාරය පහතින් දක්වා ඇත.

බුදුදහම දේවාගමක් කිරීම:- මනුෂ්‍යයන් විසින් ප්‍රදානය කරනු ලබන පින් දෙවියන්ට අනුමූදනා කිරීමට හැකිවන ආකාරයට දාන, සීල, භාවනා වශයෙන් බුදුන් විසින් දේශනා කරන ලද පුණ්‍ය ක්‍රියා සංඛ්‍යාව පින් දීම සහ පින් අනුමෝදන් වීම ද ඇතුළුව දහයක් දක්වා වැඩි කිරීමද බුද්ධඝෝෂ විසින්ම කරන ලද තවත් බරපතළ වංචාවක් බව කිව යුතු ය. දෙව් මිනිසුන් සහිත මෙම ලෝකය වසා සිටින ප්‍රේත, විමාන ප්‍රේත, විමාන දේවතා, වෘක්ෂ දේවතා, වන දේවතා, ප්‍රාදේශීය දේවතා ආදී නම්වලින් හැඳින්වෙන අමනුෂ්‍ය සමූහයන් හඳුන්වා දීම සම්පූර්ණයෙන් ම අට්ඨකථා සහ පශ්චාත් පිටක ග්‍රන්ථ සාහිත්‍යයෙන් ව්‍යවහාරික , බෞද්ධ ඇදහීම්වලට ලංකාවේදී එකතු කරන ලද අංග බව කිව යුතු ය. බුදු හිමියන්ගේ බුද්ධත්ව ඥානයෙන් නො පෙනුණු මම අමනුෂ්‍ය ලෝකය ප්‍රාග් බෞද්ධ ලංකාවේ ව්‍යවහාරයෙහි පැවති මිත්‍යා විශ්වාසයන් සහ දකුණු ඉන්දීය හින්දු ගෝත්‍රික විශ්වාසයන් ද එකතු වීමෙන් නිර්මාණය වී ඇති බව පෙන්වයි.  උපුටා ගැනිම එම් එම් ජේ මාරසිංහ මහතා විසින් රචිත බුදු දහම දේවාගමක් කිරීම කෘතියෙන්

Buddhist God Identity (බෞද්ධ දේව අනන්‍යතාවය):- අපගේ එකතු කිරීම:- මාරසිංහ මහතා විසින් ඉහත පෙන්වා දීම තුලින් අප යම් විග්‍රහයක යෙදෙමු බුද්ධ වචනයත් ඉදිරියට ගනිමින්. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ දහමේ දෙවියන් සිටී ද? උන්වහන්සේ දෙවියන් ගැන සදහන් කලේ කුමක් ද? මේ ප්‍රශ්න වලට පිලිතුරු සෙවීමේ ද අපට පලමුවෙන්ම මතුවන සූත්‍රයන් වන්නේ මජ්ජිම නිකායේ එන කණ්ණකත්ඵල සහ සංගාරව සූත්‍රයි. මෙම විග්‍රහයට එම් එම් ජේ මාරසිංහ මහතා විසින් රචිත තවත් කෘතියක් වන ප්‍රත්‍යක්ෂය සහ විශ්වාසය පරිශීලනය කිරීමේ දී අපට එතුමන් විසින් මනස්කාන්තව විග්‍රහය කරන ඉහත සූත්‍රයන් දෙක, දෙවියන් ඇත් ද? යන්න බුදුරජාණන් වහන්සේගෙන් ඇසූ පැනයට උන්වහන්සේ දුන් පිලිතුරු මොනතරම් චම්ත්කාරද කියා වටහා ගනිමු. 

මජ්ජිම නිකායේ එන කණ්ණකත්ඵලමජ්‌ඣිම නිකාය » මජ්ඣිම පන්නාසකය » 4. රාජ වර්ගය සහ සඞ්ගාරව සූත්‍රය  – මජ්‌ඣිම නිකාය » මජ්ඣිම පන්නාසකය » 5. බ්‍රාහ්මණ වර්ගය යන සූත්‍ර දෙක සූත්‍ර පිටකයෙහි දැක්වෙන දෙවියන් ඇත් ද? යන ප්‍රශ්නය නගා ඇති අවස්ථා දෙක දැක්වෙන සූත්‍ර වශයෙන් වැදගත් වේ. මෙයින් කණ්ණකත්ඵල සූත්‍රයෙහිදී බුදුන් හමුවීමට පැමිණෙන කෝසල අධිරාජ්යා වූ පසේනදී කොසොල් රජතුමා හා බුදුන් අතර ඇතිවූ සාකච්ඡාවේදී රජු ” ස්වාමීනී දෙවියෝ ඇත් ද? යන ප්‍රශ්නය අසයි. මෙහිදී එම ප්‍රශ්නයට පිලිතුරක් දීම වෙනුවට, රජු විසින් එවැනි ප්‍රශ්ණයක් ඇසීමට හේතුව විමසන බුදු හිමියන් කුමක් නිසා එසේ දෙවියන් ඇත්දැයි අසන්නේ දැයි රජුගෙන් විමසයි. මෙම ප්‍රශ්නයට උත්තර දෙන රජු, තමන්ගේ මුල් ප්‍රශ්නයේ ස්ථාවරය වෙනස් කරමින් දෙවියන් ඇත් ද? වෙනුවට දෙවිවරු මෙහි පැමිණෙත් ද හෙවත් මනුෂ්‍යත්වයට පත් වන්නේදැයි අසයි. මෙම දෙවෙනි ප්‍රශ්නයට පිලිතුරු දෙන බුදු හිමියෝ, ව්‍යාපාද සහිත වූ හෙවත් කිළිටි වූ සිත් ඇති දෙවිවරු මෙහි උපදින බවත්, එසේ නොවන දෙවිවරු නො පැමිණෙන බවත් ප්‍රකාශ කරයි.

ඉන්පසු කොසොල් රජතුමා තවත් ප්‍රශ්නයක් බුදුහිමියන්ගෙ අසයි. ස්වාමිනි, බ්‍රහ්මයා ඇත්දැ යි ? අසයි. එයට ද පෙර පරිදි ම බුදු හිමියන් එම ප්‍රශ්ණය ඇසීමට හේතුව අසයි. මෙම දෙවන ප්‍රශ්නයට උත්තර දෙන කොසොල් රජතුමා මුල් අවස්ථාවේදී මෙන් ම බ්‍රහ්මයෝ මිනිසත් බවට එන්නේ ද, නැතහොත් නො එන්නේ දැයි අසයි. මෙම දෙවන සංශෝධිත ප්‍රශ්නයට ව්‍යාපාද සහිත වූ හෙවත් කිලිටි වූ මනස් ඇති බ්‍රහ්මයෝ මෙහි උපදින බවත්, එසේ නොවූවෝ මෙහි නූපදින බවත් ප්‍රකාශ කිරීමෙන් පසු සාකච්ඡාව නිමාවට පත්වේ.

පාලි පිටක ග්‍රන්ථවලට අනුව දෙවිවරුන් යන නමින් හැඳින්වෙන ජීවීන් වර්ගයක් මෙම ලෝක ධාතුව තුළම වාසය කරන බව බුද්ධත්ව ඥානයෙන් ලබාගත් දැනුම පිළිබද කරන විස්තරයන්හිදී පැහැදිලිව දැක්වේ, ( සෝ ඉමං ලෝකං සදේවකං සමාරකං සස්සමණ භ්‍රාහ්මණිං සදේව මනුස්සනං සයං අභිඤ්ඤා, සච්ඡිකත්වා පවේදේසී) යන පිටක ග්‍රන්ථයන්හි නිතර දැක්වෙන ප්‍රකාශනයෙන් මෙම මනුෂ්‍ය ලෝකය දෙවියන් සහිත ලෝකය වශයෙන් දැක්වේ. එනමුත් බුදුන් විසින් දෙවිවරුන් වශයෙන් හඳුන්වා ඇති ජීවී වර්ගය සමාජ ව්‍යවහාරයේ පවත්නා දෙවිවරුන් හා කිසිසේත් ම නො සැසදෙන බව කිව යුතු ය.  

මෙම ලෝක ධාතුව තුළ වාසය කරන අනෙක් සියලු සත්ව වර්ගයන් මෙන්ම දෙවිවරු ද තාවකාලික ආත්ම ලාභයන්ගෙන් යුක්ත වන්නෝ වෙති. දෙවිවරුන් මනුෂ්‍යන්ට නො පෙන්නාක් මෙන්ම ඒ ඒ දේව වර්ගයන්ට පෙනෙන්නේ තමන් අයත් දේව වර්ගය පමණක් ම බව පෙනේඋපුටා ගැනිම එම් එම් ජේ මාරසිංහ මහතා විසින් රචිත බුදු දහම දේවාගමක් කිරීම කෘතියෙන්” පිටක උදා:- දස‍්සනායපි භො රාජා පසෙනදි කොසලො දෙවෙ තාවතිංසෙ නප‍්පහොති. කුතො පන තම‍්හා ඨානා චාවෙස‍්සති වා පබ‍්බාජෙස‍්සති වා’ති. එවමෙව ඛො සෙනාපති, යෙ තෙ දෙවා සබ්‍යාපජ‍්ඣා ආගන‍්තාරො ඉත්‍ථත‍්තං තෙ දෙවා, යෙ තෙ දෙවා අබ්‍යාපජ‍්ඣා අනාගන‍්තාරො ඉත්‍ථත‍්තං, තෙ දෙවා දස‍්සනායපි නප‍්පහොන‍්ති, කුතො පන තම‍්හා ඨානා වාචෙස‍්සන‍්ති වා පබ‍්බාජෙස‍්සන‍්ති වා’ති.  ( භවත්නි, පසේනදි කොසොල් රජ තව්තිසා වැසි දෙවියන් දක්නට ද නො හැකි වෙයි. ඒ දේවස්ථානයෙන් ච්‍යුත කරවන්නේ හෝ යැ නංවන්නේ හෝ යි යනු කොයින් ලැබේ ද? සෙන්පතිය, එපරිදි මැ මිනිසත් බවට එනසුලු යම් දෙවි කෙනෙක් ඇද්ද, ඒ දෙවියෝ යැ නිර්දුඃඛ වූ මිනිසත් බවට එනසුලු යම් දෙවි කෙනෙක් ඇද්ද, ඒ දෙවියෝ යයි ඒ දෙවැදෑරුම් දෙවියන් දක්නට ද නො හැකි යැ. ඒ දේවස්ථානයෙන් ච්‍යුත කරවන්නේ හෝ යැ නංවන්සේ හෝ යැ යනු කොයින් ලැබේ ද?.. කණ්ණකත්ථල සූත්‍රය

===============================================================

English Post related to above  Gods in Buddhism – Professor M.M.J. Marasinghe

 

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=22728

3 pings

  1. […] Read More ;- Deitification of buddhism (බුදුදහම දේවාගමක් කිරීම) […]

  2. […] දෙවියන් ඇත් ද?  […]

  3. […] පෙළිවෙත් පිරීම වෙනුවට ඇදහීම– දෙව් මිනිසුන් සහිත මෙම ලෝකය වසා සිටින ප්‍රේත, විමාන ප්‍රේත, විමාන දේවතා, වෘක්ෂ දේවතා, වන දේවතා, ප්‍රාදේශීය දේවතා ආදී නම්වලින් හැඳින්වෙන අමනුෂ්‍ය සමූහයන් හඳුන්වා දීම සම්පූර්ණයෙන් ම අට්ඨකථා සහ පශ්චාත් පිටක ග්‍රන්ථ සාහිත්‍යයෙන් ව්‍යවහාරික , බෞද්ධ ඇදහීම්වලට ලංකාවේදී එකතු කරන ලද අංග බව කිව යුතු ය. බුදු හිමියන්ගේ බුද්ධත්ව ඥානයෙන් නො පෙනුණු මම අමනුෂ්‍ය ලෝකය ප්‍රාග් බෞද්ධ ලංකාවේ ව්‍යවහාරයෙහි පැවති මිත්‍යා විශ්වාසයන් සහ දකුණු ඉන්දීය හින්දු ගෝත්‍රික විශ්වාසයන් ද එකතු වීමෙන් නිර්මාණය වී ඇති බව පෙන්වයි. […]

Leave a Reply