Siwupasa Paribojanaya, Shasanavatharanya – Ven Rerukane Chandawimala Thero

Monk_“සිවුපස පරිභෝගය” – පූජ්‍ය රේරුකානේ චන්දවිමල මහනායක හිමි

වෙළදාම් ගොවිකම් ආදිය කොට ධනය සපයා දිවි පැවැත්වීමට පැවිද්දන්ට අවසරයක් නැත. එසේ ජීවත් වුවහොත්, එය මිත්‍යාජීවිකාවෙකි.

කය පැවිදි කිරීම විනාඩි ගණනක දී කළ හැකිය. සිත පැවිදි කිරීම එසේ ඉක්මනින් ලෙහෙසියෙන් කළ නො හැකිය. කය පැවිදි කළත් ඇතමුන්ගේ සිත පැවිදි නො කළ හැකිය. එබඳු ඇතැම් පැවිද්දෝ ගිහි සිතින් ම ජීවිතය කෙලවර කරති.

කයෙහි පමණක් පැවිද්ද ඇති, ගිහි සිත් ඇති තැනැත්තාහට පැවිද්ද අමිහිරි ය. ඔහුට පැවිද්දෙහි ආස්වාදයක් – සතුටක් නැත. ඔහුට වැටහෙන්නේ සිල් රැකීම මහත් කරදරයක් ලෙස ය.

අශ්‍රද්ධාවත් ගිහියන් සමගත්, තමා වැනි පැවිද්දන් සමගත්, තිරශ්චීන කථාවෙන් කල් යැවීම ඔහුට මිහිරි ය. විනෝද ගමන් යෑම මිහිරි ය. මිලමුදල් සැපයීම ඔහුට මිහිරි ය. ඒවායේ ඔහු ඉතා කැමැත්තෙන් යෙදෙන්නේ ය. කය පැවිදි බවට පත්කරගෙන වෙසෙන අයට ගිහි සිත ඇත ද රිසි සේ ගිහි සැප විඳීමට අවකාශ නො ලැබෙන බැවින් ඔවුහු ගිහි සැපයෙන් ද පිරිහෙති. පැවිද්දෙන් ලැබිය යුතු ඵලයෙන් ද පිරිහෙති. ඔවුන් දෙලොවින් ම පිරිහෙන බව කිව යුතු ය.

මේ ශාසනයෙහි භික්ෂුසාමණේරයන්ට චීවරාදී සිවුපසය ලැබෙන්නේ ඒවා පිළිගැනීමට තථාගතයන් වහන්සේ විසින් අනුදැන වදාරා ඇති නිසා ය.  උන්වහන්සේ නො අනු දැන වදාළ සේක් නම්, මේ සිවුපසය නො ලැබෙන්නේ ය. එබැවින් ඒ සිවුපසය බුදුන්වහන්සේට අයත් ය.

උන්වහන්සේ ඒවා අනුදැන වදාළේ දුශ්ශීලයන්ට නොව සිල්වතුන්ට ය. දුශ්ශීලයන්ට ඒවා අයිති නැත. සිල්වතුන්ට ම අනුදැන වදාළ, සිල්වතුන්ට ම දෙන සිවුපසය දුශ්ශීලව හිඳ පරිභෝග කිරීම සොරකමකි…….

රේරුකානේ චන්දවිමල මහනායක හිමියන් විසින් රචිත ශාසනාවතරණය නමැති පොතෙන් “සිවුපස පරිභෝගය” යන මාතෘකාව යටතේ ලියවී තිබුනු පිටු අංක 46 සිට 49 දක්වා පිටු පිටපත් කර ධම්ම දානයක් ලෙසට මෙසේ ඉදිරිපත් කරණ ලදී.

පිටු අංක  46 සිට 49 දක්වා කියවීමට 

මෙම සම්පූර්ණ  “ ශාසනාවතරණය “ පොත පහත වෙබ් පිටුවෙන් ඔබට බා ගත හැක.

ශාසනාවතරණය

පාදක සටහන්:-

5. ලාභසක්කාර සංයුක්තයේ  (සංයුත්ත නිකාය) ,  සූත්‍ර ගණනාවකම තිබෙන්නේ  බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ “ලාභසත්කාර කීර්ති ප්රශංසා” පස්සේ ගොස් භික්ෂූන් ට වන අන්තරායන්

5.1.2. බළිස සූත්රය – 5. ලාභසක්කාර සංයුක්තය, නිදාන වග්ගය, සංයුත්ත නිකාය. මහණෙනි, යම් කිසි මහණෙක් උපන් ලාභසත්කාර කීර්ති ප්රශංසා ආස්වාද කෙරේ ද, කැමති වේ ද, මහණෙනි, මේ මහණ තෙමේ ගිලගත් බිළී ඇත්තේ දුකට පැමිණියේ වැනසුමට පැමිණියේ පවිටු මරු විසින් කැමති සේ කටයුත්තෙක් ය යි කියනු ලැබේ. මහණෙනි, ලාභසත්කාර කීර්තිප්රශංසා මෙසේ දරුණු ය, තියුණු ය, රළු ය, අනුත්තර වූ අර්හත්ත්වාවබොධය පිණිස අන්තරාය කර ය, මහණෙනි, එහෙයින් මෙහි මෙසේ හික්මිය යුතු: “උපන් ලාභ සත්කාරකීර්තිප්රශංසා දුරුකරන්නෙමු. උපන් ලාභසත්කාර කීර්තිප්රශංසා අපගේ සිත ක්ෂය කොට නොම සිටිනේ ය” යි. මහණෙනි, මෙසේ තොප විසින් හික්මිය යුතු මැ යි.

5.1.1. දාරුණ සූත්රය – 5. ලාභසක්කාර සංයුක්තය, නිදාන වග්ගය, සංයුත්ත නිකාය . මහණෙනි, ලාභසත්කාර කීර්තිප්රශංසා දරුණු ය, තියුණු ය, රළු ය, අනුත්තර වූ අර්හත්වාවබෝධය පිණිස අන්තරාය කර ය. එහෙයින් මහණෙනි, මෙහි මෙසේ හික්මිය යුතු: “උපන් ලාභසත්කාර කීර්තිප්රශංසා බැහැර කරන්නෙමු. උපන් ලාභසත්කාර කීර්තිප්රශංසා අපගේ සිත ක්ෂයකොට ගෙන නොම සිටිනේ” ය යි. මහණෙනි, මෙසේ තොප විසින් හික්මිය යුතු මැ යි.

5.1.3. කුම්‌ම සූත්‍රය – 5. ලාභසක්කාර සංයුක්තය, නිදාන වග්ගය, සංයුත්ත නිකාය

මහණෙනි, යම් කිසි මහණෙක් උපන් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ආස්වාද කෙරේ ද, කැමති වේ ද, මහණෙනි, මේ මහණ තෙමේ ගිජු වූයේ යකටුවෙන් දුකට පැමිණියේ වැනසුමට පැමිණියේ පවිටු මරු විසින් කැමති සේ කටයුත්තේ ය යි කියනු ලැබේ. මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා මෙසේ දරුණු ය, … උපන් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා බැහැරලමු. … මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු මැ යි.

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=20126

1 pings

  1. […] “සිවුපස පරිභෝගය” – පූජ්‍ය රේරුකානේ ච…   මේ ශාසනයෙහි භික්ෂුසාමණේරයන්ට චීවරාදී සිවුපසය ලැබෙන්නේ ඒවා පිළිගැනීමට තථාගතයන් වහන්සේ විසින් අනුදැන වදාරා ඇති නිසා ය.  උන්වහන්සේ නො අනු දැන වදාළ සේක් නම්, මේ සිවුපසය නො ලැබෙන්නේ ය. එබැවින් ඒ සිවුපසය බුදුන්වහන්සේට අයත් ය.උන්වහන්සේ ඒවා අනුදැන වදාළේ දුශ්ශීලයන්ට නොව සිල්වතුන්ට ය. දුශ්ශීලයන්ට ඒවා අයිති නැත. සිල්වතුන්ට ම අනුදැන වදාළ, සිල්වතුන්ට ම දෙන සිවුපසය දුශ්ශීලව හිඳ පරිභෝග කිරීම සොරකමකි…… […]

Leave a Reply