මේ බුදුන් වහන්සේගේ ධර්මයද?
බුද්ධඝෝෂයන් කියන ආකාරයට බුදුන් ජීවමානව වැඩ සිටි කාලය තුළ වජ්ජි ජනපදය එබඳු දුර්භික්ෂයකට ගොදුරු වූ බවට කිසිම සාධකයක් තත්කාලීන වාර්තාවලින් නොලැබෙයි. බුදු හිමියන්ගේ පන්සාළිස් වසරක ධර්ම ප්‍රචාරක කාලය තුළ උන්වහන්සේ හෝ භික්ෂු සංඝයා හෝ ගිහි සමාජයේ පැවති පිරිත් සජ්ඣායන ශාන්ති කර්මයකට සහභාගි වූ බව දැක්වෙන අවස්ථා කිසිවක් සඳහන් නොවීම මේ සම්බන්ධ ව ලබාගත හැකි ප්‍රබල සාධකයකි.
මිහිඳු හිමියන් ප්‍රධාන ධර්මදූත පිරිස විසින් මෙරටට හඳුන්වා දෙන ලද බුදුදහමට පදනම් වූයේ තුන්වන ධර්ම සංගායනාවේ දී අනුමත කරන ලද පාලි පිටක ග්‍රන්ථයන් පරිහරණය කළ දේශීය උගතුන්ට එම ග්‍රන්ථවල පැවති දුරවබෝධ තැන් පැහැදිලි කිරීම සඳහා මිහිඳු හිමියන් විසින් එකල ව්‍යවහාරයේ පැවති දේශීය භාෂාව ලෙස සැලකෙන හෙළ බසින් ලියන ලද අට්ඨකතා පෙළක් ද වූ බවත් ඒවා පච්චරි, මහා පච්චරි, කුරුන්දි ආදී නම්වලින් හැඳින්වූ බවත් ඓතිහාසික මූලාශ්‍රයන්ගෙන් සනාථ වේ. මෙම හෙළ අටුවා මිහිඳු හිමියන්ගේ කාලයේ සිට ක්‍රි.ව. පස්වන සියවස තෙක් වූ සියවස් අටක හෙවත් අවුරුදු අටසියයකට ආසන්න කාලයක් දේශීය උගතුන්ගේ අවශ්‍යතා සපුරාලීමට ප්‍රමාණවත් වූ බව ද පෙනෙයි. එදා එම කාර්යය සඳහා ඒවා ප්‍රමාණවත් නොවූ බවට ඉඟියක් හෝ පළ නොවේ. හෙළ අට්ඨකතාවලින් සමන්විත මුල් පිටක ග්‍රන්ථ හැදෑරීමෙන් සහ විමුක්ති මඟ පිළිපැදීමෙන් මේ රටේ රහතුන් බිහි වූ යුගය පාලි අට්ඨකතා යුගයේ ආරම්භයත් සමඟ අවසන් වූ බව පැහැදිලිව පෙනී යයි.
මෙතරම් දීර්ඝ කාලයක් මුළුල්ලේ මෙරට උගතුන්ගේ පරිහරණයේ හෙළ අටුවා පාලි භාෂාවට නැඟීමේ කාර්යය හෙළ භාෂා ප්‍රවීණත්වය ද නොසලකා හරිමින් පිටස්තරයෙකුට බාර දීම නොපැහැදිලි කරුණකි. බුද්ධඝෝෂයන්ගේ බුදුදහම පිළිබඳ දැනීම විසුද්ධි මාර්ගය ලිවීමෙන් පමණක් මැන බැලූ මහාවිහාරිකයන් ඔහුගේ ග්‍රන්ථකරණය සඳහා හෙළ අටුවා අවශ්‍ය නොවූ බව සිතීම සාධාරණ බව පෙනේ. වෙනත් වචනවලින් කිවහොත් හෙළ භාෂා ප්‍රවීණත්වය ලැබීමේ අවශ්‍යතාව බුද්ධඝෝෂයන්ට අත්‍යවශ්‍ය සුදුසුකමක් වශයෙන් සලකන ලද බවට සාක්ෂි සොයා සපයා ගත හැකි නොවන්නේ හෙළ බසින් ලියූ අට්ඨකතා ඔහුගේ කාර්ය සඳහා එතරම් අදාළ නොවීම නිසා ද විය හැකි ය. කෙසේ වුව ද බුද්ධඝෝෂයන් විසින් පාලි අට්ඨකතා සමස්තයක් වශයෙන් ගෙන විමසා බැලීමේ දී කිහිප අවස්ථාවක දීම ‘බුද්ධ’ යන වචනය මෙම ‘බෞද්ධ විමුක්ති මාර්ගය’ ද වෙනස් කර ඇති බැව් පෙනී යයි. එවැනි වෙනස් කිරීම අටුවාකතාකරුවෙකුට ගැළපෙන ක්‍රියා මාර්ගයක් වන්නේ ද යන්න විමසා බැලීම සුදුසු ය.
Recent Comments