Atheistic Buddhism

අදේවවාදී බුදුදහම

බුදුදහමේ එන සත්වයන් – මනුෂ්‍ය, දේව , යක්ෂ, පිශාච, කුම්භාණ්ඩ 

මහාවංශයට අනුව බුදුන් පිරිනිවන්පෑමට ප්‍රථම, ලංකා බුද්ධ සාසනයේ ආරක්ෂාව සක්දෙවියන්ට භාරදුන් බවත්, සක්දෙවි එය උපුල්වන් දෙවියන්ට භාරදුන් බවත් දැක්වීමෙන් දෙවියන් පිළිබදව මුල් සූත්‍ර පිටක ග්‍රන්ථයන්හි දැක්වෙන පැහැදිලි දර්ශනය විකෘති කොට ඇති ආකාරය පෙනේ.

මිහිඳු හිමියන් ගෙන ආ දහම, තම නමට පමණක් බහුතරයක් ලාංකිකයන්ට තමන් පරම්පරාගතව විශ්වාස කරගෙන ආ දේව සහ භූත විශ්වාසයන්ගේ මානසිකත්වයෙන් මිදීමට නොහැකි වීමේ විපාක වශයෙන් මෙම තත්වය ඇති වී යයි සිතිය හැකි වුවද, එය කුමන පදනමක් යටතේ හෝ සාදාරණීකරණය කිරීමට නො හැකි විකෘති කාරණයක් බව සටහන් කළ යුතු ය. ශ්‍රී පාද ස්ථානයට අධිගෘහිත සමන් දෙවියන් එහි පැමිණෙන වන්දනාකරුවන්ගේ ආරක්ෂකයා වශයෙන් යොදාගැනීමෙන් පෙර සිට පැවති දේව වන්දනා ක්‍රමයක් ආරක්ෂා කරගැනීමට බුදුදහම උපකාරී කරගත් ආකාරය පෙනේ. මේ ආකාරයෙන් විභීෂණ වැනි ප්‍රාදේශීය දෙවිවරුන් ද ලාංකීය දේවවාලියක සාමාජිකයන් වශයෙන් යොදා ගැනීමෙන් අදේවවාදී බුදුදහම අර්ධදේව වාදයක් බවට පරිවර්ථනය කිරීමක් පෙන්වයි. (මෙහිදී බෞද්ධ ඉතිහාසයේ සදහන් තවත් අවස්ථාවක් ලෙසට සිද්ධාර්ථ තවුසානන් බුද්ධත්වයට පත් වී උන්වහන්සේ අවබෝධ කරගත් දහම මනුෂ්‍යන්ට වටහා ගැනීමට හැකිවේද යන්න සිතමින් ඉන්නා විට මහාබ්‍රහ්මයා එතනට පැමිණ බුදුරජාණන් වහන්ස, අවබෝධ කරගැනීමට මිනිසුන් ඇතිබවත් ධර්මය දේශනා කරන සේක්වා කියා බ්‍රහ්මයා ආරාධනා කල බව සදහන් කරනවා. මෙතරම් විශිෂ්ඨ වූ දහමක් අවබොධ කරගත් බුදුකෙනෙකුට තම දහම මිනිසුන්ට වටහා ගත නො හැකි වේ යයි සැක පහල වෙයි ද? කිසිසේත් නැත. මේ කථාව, කථාන්දරයක් ලෙස පසුව එකතු වූ බව මෙයින් මනාව පැහැදිලි වේ. මෙයත් පෙර සිට පැවති බ්‍රහ්ම සන්කල්පය ආරක්ෂා  කරගැනීමට බුදුදහම උපකාරී කරගත් ආකාරය පෙනේ. එපමනක් නොව මේ මහා බ්‍රහ්මයා බෞද්ධ බ්‍රහ්මයෙක් බවටත් පත්කර බුදුදහම තුල ස්ථානගත කිරීමටත් මේ කථාන්දරය උපයෝගි කරගෙන ඇති ආකාරය පෙනේ. )

දෙවිවරුන්ට අමතරව මිනිසාගේ පරිසරය වසා සිටින යක්ෂ, පිශාච ආදී මිනිසාට හානි කිරීම තම එකම අභිප්‍රාය කරගත් භූත කොටස් වෙනුවෙන් ඉටු කළ යුතු පුදපූජා විධීන් සහ ආරක්ෂන ක්‍රමයන් ද අනුගමනය කිරීමත් ලාංකිකයින් විසින් මේ අතරේ කරගෙන යන ලදී. (අදටත් මෙවැනි මිත්‍යාදෘෂ්ඨීන් පසුපස යන ලාංකිකයින් බහුලව දැකගත හැකිවේ. මෙය මිනිසුන් භය කර මුදල් හම්බකරන ජාවාරමක් බවට පත්වී අවසන්. කනගාටුවට කරුණ නම් මේ ජාවාරම් වැඩ වලට සමහර චීවරධාරීනුත් හවුල් වීමයි.) බෞද්ධ පිටක ග්‍රන්ථවල දැක්වෙන දෙවිවරු මිනිසාට හොඳ හෝ නරක කිරීමට හෝ එවැනි දෙයක් ගැන සිතීමටවත් නො හැකි අහිංසක සත්ව කොටසක් වශයෙන් දක්වන අතර, මිනිසාට හානි කිරීමට හෝ එවැනි දෙයක් ගැන සිතීමටවත් හැකි භූත කොටස් සිටින බවක් ද පිළිනොගනී.

සංයුත්ත නිකායේ ලක්ඛන සංයුත්තයේ විස්තර කුම්භාණ්ඩ නම් භූත වර්ගය තමන් අතීතයේ කරන ලද අකුසල කර්මවිපාක වශයෙන් අසීමිතව දුක් විදිමින් සිටින සත්ව කොටසක් මිස, මිනිසා ගැන සිතීමට හෝ ඔහුගේ ජීවිත වලට සම්බන්ධ වීමට කිසිම අවශ්‍යතාවයක් හෝ නම්‍යශීලීත්වයක් හෝ ඇති සත්ව කොටසක් වශයෙන් නො දැක්වේ. මේ අනුව බෞද්ධ පිටක ග්‍රන්ථ වල මිනිසාට හානි කළහැකි භූත කොටස් ඇති බවක් පිළිගෙන නැති බව පැහැදිලි ය. 

බුද්ධ කාලය වනවිට ඊට පෙර පැවති ස්වාධින ගෝත්‍රික රාජ්‍යයන් යටත් කර ගනිමින් බිහි වූ ඒකාධිපති රජ දරුවන්ගේ අසල්වැසි ගෝත්‍රික රාජ්‍යයන් ජය ගැනීමේ ක්‍රමය නිසා උන්හිටි තැන් අහිමිව, මහා රාජ්‍ය ප්‍රාදේශවල සරණාගතයන් වශයෙන් ජීවත් වූ යක්ෂ, පිශාච, ආදී ගෝත්‍රිකයන් ඒ කාලයේ ඇස් ඉදිරිපිටම ජීවත් වූ මිනිස් වර්ගයන් වීම නිසා ඒ වන විටත් බ්‍රාහ්මණ විශ්වාසයේ පැවති භූත ලෝකය හැකිළෙන්නට පටන්ගෙන තිබුණු බව පෙනේ. විනය පිටකයට අනුව මෙසේ මහා රජ්‍ය ප්‍රදේශවලට පැමිණ සරණාගතයන් වශයෙන් ජීවත් වූ යක්ෂ, පිශාච ආදී ගෝත්‍රික කාන්තාවන් සහ සමහර භික්ෂූන් අතර ඇති වූ අයථා සම්බන්දකම් නිසා විනය නීති පවා පැනවීමට සිදූවූ බව වාර්ථා වී තිබේ. (උපුටා ගැනීම “බුදුදහම සහ බුද්ධාගම” – මහාචාර්‍ය එම් එම් ජේ මාරසිංහ)

බුදුරජාණන් වහන්සේ දෙවියන් ගැන අවස්ථාවන් කීපයකම දේශනා කොට වදාළා, ඒ ඔවුන් කලින් සිදුකලා වූ කුශල කර්ම හේතුවෙන් දේව යන සත්ව කොට්ඨාශයන් තුල ඉපදුනු අහිංසක සත්වයන් බවත් ඔවුනට මනුෂ්‍යන්ට ආශීර්වාද කරන්නටවත් , මනුශ්‍යන්ගෙන් පින් ලබා ගන්නට වත් පුලුවන් අය නොවේ. මෙයට කදිම උදාහරනයන් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා. බුදුන් වදාළ දහමේ දෙවියන් සිටී ද? උන්වහන්සේ දෙවියන් ගැන සදහන් කලේ කුමක් ද? මේ ප්‍රශ්න වලට පිලිතුරු සෙවීමේ ද අපට පලමුවෙන්ම මතුවන සූත්‍රයන් වන්නේ මජ්ජිම නිකායේ එන කණ්ණකත්ඵල සහ සංගාරව සූත්‍රයි.   වැඩිදුරට කියවීමට මෙම වෙබ් පිටුවට පිවිසෙන්න  (බුදුදහම දේවාගමක් කිරීම)

ආශ්‍රිත ග්‍රන්ථ,වෙබ් පිටු සහ වීඩියෝ පට :-

 

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=22971

2 pings

  1. […] අදේවවාදී බුදුදහම – බුද්ධ කාලය වනවිට ඊට පෙර පැවති ස්වාධින ගෝත්‍රික රාජ්‍යයන් යටත් කර ගනිමින් බිහි වූ ඒකාධිපති රජ දරුවන්ගේ අසල්වැසි ගෝත්‍රික රාජ්‍යයන් ජය ගැනීමේ ක්‍රමය නිසා උන්හිටි තැන් අහිමිව, මහා රාජ්‍ය ප්‍රාදේශවල සරණාගතයන් වශයෙන් ජීවත් වූ යක්ෂ, පිශාච, ආදී ගෝත්‍රිකයන් ඒ කාලයේ ඇස් ඉදිරිපිටම ජීවත් වූ මිනිස් වර්ගයන් වීම නිසා ඒ වන විටත් බ්‍රාහ්මණ විශ්වාසයේ පැවති භූත ලෝකය හැකිළෙන්නට පටන්ගෙන තිබුණු බව පෙනේ.  […]

  2. […] Atheistic Buddhism […]

Leave a Reply