Mindfulness (සතිමත්බව)

අද විලාසිතාවක් බවට පත්වී ඇති බහුතරයක් බෞද්ධයන් වරද්දවාගත් බටහිර ගැති   “සතිමත් බව ‘ 

බුදු දහමේ මුල් උරුමය සහිත බහුතරයක්  ලාංකිකයන්ට තේරුම් නොගිය සතිය  (mindfulness) සතු වටිනාකම බටහිර ජාතීන්ට මනා සේ අවබෝධ වෙමින් පවතින ආකාරය දැන් දැන් පෙනෙන්නට තිබේ. ඔවුන් සතිය පුහුණුවේ මූලික අරමුණ වන නිවන අරමුණු නො කළත් එදිනෙදා ජීවිතයේ ඇති දුක, කළකිරීම් රෝගපීඩාදියෙන් මිදෙන්නට සතිය අපූරු උපක්‍රමයක්‌ බව තේරුම් ගෙන භාවනාදියෙහි නියැලෙති. ඔවුන් ඒ පිළිබඳ ව බහුලව සාකච්ඡා කරන්නටත් බොහෝ සේ භාවිත කරන්නටත් ආරම්භ කර ඇත්තේ එහෙයිනි. නමුත් මෙය බුදුදහම තුල විග්‍රහවෙන ‘ සතිමත්බවට” වඩා හාත්පසින්ම වෙනස්. ඒ ඔවුනගේ අවබෝධය. 

නමුත්, අද ලංකාවේ බහුලව වඩන්නේ බුදුරජාණන් වහන්සේ දෙසූ සතිය නොව මෙන්න මේ බටහිර ජාතීන් පුහුණු කරගෙන යන  (mindfulness) ක්‍රමය වීම කනගාටුවට කරුණකි. අද වනවිට විලාසිතාවක් බවට පත්වීගෙන එන සතිමත්බව(mindfulness), සිසුන් සදහා සතිමත්බව, එදිනෙදා ජීවිතයට සතිමත්බව වැනි නොයෙකුත් නම් වලින් සහ යම් යම් youtube  නාලීකාවන් “සතිමත්බව” නමින් බටහිර පන්නයේ ක්‍රමයට තම ප්‍රසිද්ධිය උදෙසා බටහිර ගැත්තන් සේ අප බුදුරජානණ් වහන්සේගේ මේ නිර්මල වූ දහම පැත්තකට දමා බටහිර පන්නයට පීඩන ලිහිල් කරන (stress release) විලාසිතාවක්  වීගෙන යනබව පේනවා.

දැන් දැන් මේ සතිමත්බව නොයෙකුත් විකාර රූපීව පහත නම් වලින් කල එළි බැස ඇති බව නම් නො රහසකී. සිහිකල්පනාවෙන් යුත් ව්‍යාපාරික උපායමාර්ග, සිහියෙන් යුතුව සාප්පු යෑම, සිහියෙන් යුතුව ආලය කිරීම, සිහියෙන් යුතුව ලිංගිකව හැසිරීම, සිහියෙන් යුතුව ආයෝජනය කිරීම, සිහියෙන් යුතුව ක්‍රීඩා කිරීම, සිහියෙන් යුතුව දේශපාලනය කිරීම සහ සිහියෙන් යුතුව හමුදා පුහුණුව වැනි දේ ගැන අපට අසන්නට ලැබෙන කාලයක් මේ.

අපේ ඇත්තන් මේ සතිමත් බව ඉදිරියට ගෙන යන්නේ තවතවත් අලුත් දේවල් එකතු කරමින් ( කොහොමත් අපේ අය බටහිරෙන් ගන්න දේ තවත් වර්ණ කරන්න දක්ෂ අය නේ) තමතමන්ගේ ප්‍රසිද්ධිය උදෙසා අපගේ තරුණ පරපුරට එක එක්කෙනාගේ ප්‍රායෝගික අත්දැකීම් එක්ක මේ බටහිර පන්නයේ සතිමත්බව(mindfulness) පෙන්වා දෙන අතරේ. මේ අත්දැකීම් ලබාගන්නා අයත් හිතෙන්නේ තමාට හොදහැටි සතිය පිහිටන බවයි. ඔවුනට අමතකයි බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් ඉන්ද්‍රීය ධර්ම ඇතුලේ මේ සතිය තිබෙන්නේ මොන ස්ථානයේ ද බව. (1සද්ධා, 2වීර්‍යය, 3සති , 4සමාධි, 5ප්‍රඥ්ඤා = ඉන්ද්‍රිය ධර්ම )මේක ක්‍රමාණූකූල වැඩපිළිවෙලක්. “සතිය” ධර්මයෙන් එලියට ඇදල ගත් විගස ඉන්ද්‍රිය ධර්ම වලට මොකද වෙන්නේ? ධර්ම කොටස් මගහරින (bypass) කරන දේවල් බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළේ නැතිබව වටහා ගැනීමට අප ආරාධනා කරනවා. .අඞ්ගුත්තරනිකාය » චතුක්කනිපාතපාළි » (16) 1. ඉන්ද්‍රියවග්ගො » ඉන්ද්‍රියසුත්තං  ( 151 “මහණෙනි, මේ ඉන්ද්‍රියයෝ සතරක් වෙත්. කවර සතරක්ද යත්. සද්‍ධින්ද්‍රියය, විරින්‍ද්‍රියය, සතින්ද්‍රිය, සමාධින්ද්‍රියය යන සතරයි. මහණෙනි, මේ සතර ඉන්‍ද්‍රියයෝයි.” බුදුරජාණන් වහන්සේ ඉන්ද්‍රිය ධර්ම සම්බන්දයෙන් දේශානා කොට වදාළ සූත්‍ර විශාල ප්‍රමාණයක් බුද්ධ වචනයේ ඇත. ඒ සියල්ල පරීක්ෂා කිරීමේ දේ මේ සතිමත්බවට සෘජුවම පංචසීලය බලපාන බව මොනවට පැහැදිලි වේ. තම තමන් සිදුකරන කාර්යන් ගැන සිතතබාගෙන සිටින්න පංචශීල ප්‍රතිපදාවෙන් එන ඉන්ද්‍රිය සංවරය මොනතරම් දුරට ඉවහල් වෙනවා ද කියා මැනැවින් වටහාගත හැක. පහතින් සූත්‍ර කීපයක් සදහන් කරන්නෙමු. 8.1.9.1. සතිසම්‌පජඤ්‌ඤ සූත්‍රය ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » අට්ඨක නිපාතය » (9) 4. සති වර්ගය , 3.2.9 කායගතාසති සූත්‍රය, » මජ්‌ඣිම නිකාය » උපරි පන්නාසකය » 2. අනුපද වර්ගය

සතිමත්බව(mindfulness) කරේ තියාගෙන යන අයට පොඩ්ඩක් නැවතී සිතන්න ඔබලා මේ අහිංසකයින්ව ගෙන යන්නේ බුදු වදනින් පිටට නේද මේ  කියලා.  කෝ ඔබලා මේ විග්‍රහ කරන්නට යෙදෙන කාරණා තුල තිබෙන බුද්ධ වචනය? කෝ මේ සතිමත්බවට බුද්ධ වචනයට අනුව පලමුවෙන්ම උපකාරී වන පංසිල් ගැන විග්‍රහයන්? බුද්ධ වචනය පුරාවටම තිබෙන්නේ මේ පංසිල් රැකීමෙන් පටන් ගන්නා බුදුදහම මිසක්, පන්සිල් නොරැකීමෙන් පටන් ගන්න සතිමත්බවක්(mindfulness) නොවේ. බටහිරෙන් මේ සතිමත්බව පුරුදු කරන්න පටන් ගන්නේ පංසිල් රැකීමෙන් නොවන නිසා, අපේ අයත් පංසිල් කුණුගොඩට දමා බුද්ධ වචනයට පයින් ගහලා පටන් ගන්නේ කෙලින්ම සතිමත්බවක්(mindfulness) න්. සමාජයට ගෙන යා යුත්තේ පිරිසිදු වූ බුද්ධ වචනය මිස, ප්‍රසිද්ධිය උදෙසා බටහිරට ගැති තමාගේ හිතළු ගෙන යෑම බුද්ධ වචනයට කරන නිග්‍රහයක් සේම, මහා පාපකර්මයක්. 

ඒකයි අපේ සෝම ස්වාමීන් වහන්සේ එදා කීවේ. පංසිල් රකින සමාජයක් හදමු එවිට මේ සමාජ උවදුර ක්‍රමාණුකූලව අඩුවෙයි කියලා. බලන්න අද ගිහි වේවා, පැවිදි වේවා කීයෙන් කී දෙනාද මේ පංචසීලය රැකීමේ ආනිසංස පෙන්වා දෙන්නේ. බලන්න අද මේ පාසැල් වල කරගෙන යන “සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන් වල න් වල මේ සතිමත්බවට බලපාන සාධකයන් වූ මේ පංචශීල ප්‍රතිපදාව ගැන දැනුවත් කරනවා ද? නිකන් බොරුවට විලාසිතාවක් ලෙසට පන්සිල් ගෙන කෙලින්ම බටහිර ක්‍රමයට සතිමත්බව පුරුදු කරයි.  ඔබලාම නිරීක්ෂණය කර බලන්න අද මේ වගේ බණ ඇහෙනව ද කියා. අද ඇසෙන්නේ වැඩියෙන්ම ඉල්ලුමට සැපයුම දෙන දේවල් නේද කියා වැටහෙයි සෝම ස්වාමීන් වහන්සේගේ මේ දේශනාව ශ්‍රවනය කළ විගස. බලන්න සතිමත් බවට මෙය බලපාන අන්දම අවබෝධයෙන්.

පිංවත්නි, අපි හැමදාම පංසිල් ගන්නවා සමාදන් වෙන එකට කියන්නේ ගන්නවා කියලනේ දෙනවනේ, දෙන හින්දා ඔහේ ගන්නවා. පංසිල් සමාදන් වුනත්, පංසිල් ගත්තත් තමාට පංචසුචරිතය ආරක්ෂා කිරීමෙන් ප්‍රතිලාභයක් ලැබෙනවා කියා දන්නේ නැත්නම්, ගන්න පන්සිල් කවදාවත් තියා ගන්නව ද? අද සමාජයේ කීදෙනෙක් පන්සිල් රැක්කොත් මෙහෙම ප්‍රතිලාභ පහක්(5) ලැබෙනවා කියා දන්නවා ද?????  …….මේ දේශනාව හොදින් අවබෝධයෙන් අසන්න. එවිට ඔබට ඒ ප්‍රතිලාභ පහ දැනගත හැකිය. පන්සිල් රැකීමෙන් ලැබෙන ප්‍රතිලාභ පහ (5)

අවසාන වශයෙන් මේ බුද්ධ වචන මේ උතුම් වූ පොහොය දිනයේ දී මතුකිරීමට සිතුවෙමු. 

“මහණෙනි, සර්පයින්ගෙන් ප්‍රයෝජන ඇත්තාවූ සර්පයන් සොයන්නාවූ සර්පයන් සෙවීමෙහි හැසිරෙන්නාවූ පුරුෂයෙක් තෙම මහත් සර්පයෙකු දක්නේය. හෙතෙම ඒ සර්පයා කඳෙන් හෝ නගුටින් හෝ අල්වාගන්නේය. ඒ සර්පතෙම ආපසු කරකැවී ඔහුගේ අත හෝ බාහුව හෝ මින් පිටත් අන් අඟපසගක් හෝ දෂ්ට කරන්නේය. හෙතෙම ඒ හේතු කොටගෙන මරණයට හෝ පැමිණෙන්නේය. මරණය සමාන දුකට හෝ පැමිණෙන්නේය. ඊට හේතු කවරේද? මහණෙනි, ඒ සර්පයා වරදවා අල්වාගත් හෙයිනි. – අලගද්දූපමසුත්තං – මජ්ඣිමනිකාය » මූලපණ්ණාසපාළි » ඔපම්මවග්ගො » 

මහණෙනි, ගැඹුරුවූ, ගැඹුරු අර්ථ ඇත්තාවූ, ලෝකෝත්තර අර්ථ දක්වන්නාවූ, සත්වැදෑරුම් ශූන්‍යතා ධර්මය ප්‍රකාශකරන්නාවූ, තථාගතයන් වහන්සේ විසින් වදාරන ලද්දාවූ, යම් ඒ සූත්‍රාන්තයෝ වෙත්ද, ඒ සූත්‍රාන්තයන් කියන කල්හි ඇහුම්කන් නොදෙත්. කන් නොනමත්ද, දැනගැනීම පිණිස සිත නොපිහිටුවත්ද, ඒ ධර්මයන් උගතයුතුයයි, පුහුණු කළයුතුයයි, නොසිතත්ද, කිවියන් විසින් කරන ලද්දාවූ, කිවියන් විසින් රචනා කරන ලද්දාවූ, විසිතුරු අකුරු ඇත්තාවූ, විසිතුරු ව්‍යඤ්ජන ඇත්තාවූ, බුද්ධ ශාසනයෙන් පිටස්තරවූ, ඒ ඒ ශ්‍රාවකයන් විසින් කියන ලද්දාවූ, යම් ඒ සූත්‍රාන්තයෝ වෙත්ද, ඒ සූත්‍රාන්තයන් කියන කල්හි ඇහුම්කන් දෙත්ද, කන් නමත්ද, දැනගැනීම පිණිස සිත පිහිටුවත්ද, ඒ ධර්මයන්ද උගතයුතුයයි පුහුණු කළයුතුයයි සිතත්ද, එවැනි භික්ෂූහු අනාගත කාලයෙහි වන්නාහුය.”7.ආණිසුත්තං 9.ඔපම්‌මසංයුත්‌තං, නිදානවග්ගපාළි, සංයුත්තනිකාය

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=21816

Leave a Reply