Bāhiya Sutta – Bodhivagga,Udanapali, Khuddaka Nikaya

බාහියසූත්‍රයබොධිවග්ග, උදානපාළි, ඛුද්දකනිකාය

අපගේ සටහන:- බොහෝ උගතුන් පටලවාගත් සහ බොහෝ තර්කයන්ට භාවිතා කරන සූත්‍ර දේශනාවක් වන ඛුද්දකනිකායේ – උදානපාළි » බොධිවග්ගයේ එන  » බාහියසූත්‍රය අපගේ පූජ්‍ය කටුකුරුන්දේ ඤාණනන්ද ස්වාමීන් වහන්සේ ඉතාමත් විචිත්‍රවත්ව විග්‍රහ කරමින් අපව සූත්‍රය තුලට රැගෙන යන ආකාරය විශ්මජනකයි. ඔබට එම සූත්‍රය මුලසිට අගට කියවීමට කටුකුරුන්දේ ඤාණනන්ද ස්වාමීන් වහන්සේගේ පහතින් සදහන්  විශිෂ්ඨ ප්‍රවේශය තෝතැන්නක් වේවා.  සියල්ලෝ ම ධර්මාවබෝධය ලබත්වා අපගේ සටහන අවසන්.

කටුකුරුන්දේ ඤාණනන්ද ස්වාමීන් වහන්සේගේ විග්‍රහය:- “ඉංද්‍රීය සංවරය” පිළිබඳව ගැඹුරු අර්ථ සමුදායක් ඇති බව උදාන පාළියෙහි බෝධි වග්ගයේ බුදුරජුන් භාහිය දාරුචිරිය තවුසාණන්ට දෙසූ සාරවත් කෙටි උපදේශය හා සසඳනවිට පැහැදිලි වනු ඇත. බුදුරදුන් වදාළ මේ දෙසුමෙහි දාර්ශනික අර්ථසාරය කෙතෙක් ගැඹුරුද යත් භාහිය තවුසාණෝ එකෙණෙහිම අරහත්වයෙන් විමුක්තිය ප්‍රත්‍යක්ෂ කරගත්හ. උපුටා ගැනීම සංකල්පය සහ යථාර්ථය පොතේ පිටු අංක 32 -33

බුද්ධ වචනය:-‘‘තස්මාතිහ තෙ, බාහිය, එවං සික්ඛිතබ්බං – ‘දිට්ඨෙ දිට්ඨමත්තං භවිස්සති, සුතෙ සුතමත්තං භවිස්සති, මුතෙ මුතමත්තං භවිස්සති, විඤ්ඤාතෙ විඤ්ඤාතමත්තං භවිස්සතී’ති. එවඤ්හි තෙ, බාහිය, සික්ඛිතබ්බං. යතො ඛො තෙ, බාහිය, දිට්ඨෙ දිට්ඨමත්තං භවිස්සති, සුතෙ සුතමත්තං භවිස්සති, මුතෙ මුතමත්තං භවිස්සති, විඤ්ඤාතෙ විඤ්ඤාතමත්තං භවිස්සති, තතො ත්වං, බාහිය, න තෙන; යතො ත්වං, බාහිය, න තෙන තතො ත්වං, බාහිය, න තත්ථ ; යතො ත්වං, බාහිය, න තත්ථ, තතො ත්වං, බාහිය, නෙවිධ න හුරං න උභයමන්තරෙන. එසෙවන්තො දුක්ඛස්සා’’ති. බුද්ධ වචනය අවසන් (සිංහල තේරුම:-එසේ නම් භාහිය ඔබ මෙසේ හික්මිය යුතුය. දුටුවෙහි දුටු බව පමණක්ම වන්නේ ය. ඇසුනෙහි ඇසුන බව පමණක්ම වන්නේ ය. දැනුනෙහි දැනුන බව පමණක්ම වන්නේ ය. දතුයෙහි දත් බව පමණක්ම වන්නේ ය. මෙසේය භාහිය ඔබ විසින් හික්මිය යුත්තේ. යම් විටෙක භාහිය ඔබට දුටුවෙහි දුටු බව පමණක්ම වන්නේ ද, ඇසුනෙහි ඇසුන බව පමණක්ම වන්නේ ද, දැනුනෙහි දැනුන බව පමණක්ම වන්නේ ද, දතුයෙහි දත් බව පමණක්ම වන්නේ ද, එවිට ඔබ භාහිය “එයින්” නොවේ. යම් විටෙක භාහිය ඔබ “එයින්” නොවන්නේ ද, එවිට භාහිය ඔබ ‘එහි’ නොවන්නේ ය. යම් විටෙක භාහිය ඔබ ‘එහි” නොවන්නේ ද එවිට භාහිය ඔබ මෙහිත් නැත. ‘එහිත්” නැත. ඒ දෙක අතරත් නැත. එයම දුකෙහි කෙළවර ය.

කටුකුරුන්දේ ඤාණනන්ද ස්වාමීන් වහන්සේගේ විග්‍රහය:- මෙම දේශනාවෙහි මුල් කොටස ඉන්ද්‍රීය සංවරයෙහි සාරාර්ථය පිඬුකර දක්වන අතර ඉතිරි කොටස ඒ යටින් ඇති දර්ශනය විවරණය කරයි.…….සැකෙවින් කියතොත්, ඔහු නිවනට පැමිණීයේ වෙයි. භාහිය තාපස තුමා ද මේ කෙටි දෙසුම අසා එකෙණෙහිම මෙන් නිවන ප්‍රත්‍යක්ෂ කරගත්තේ සූත්‍රයෙහිම සඳහන් පරිදි බුදුරදුන් හමුවීමට කලින්ම තමා රහත්ය යන අධිමානය ඇති කර ගැනීමට තරම් කිසියම් අධ්‍යාත්මික දියුණුවක් ලබා තිබුනු බැවිනි.

මේ අනුව බලන කල ඉන්ද්‍රීයසංවරය පිළිබඳ ශික්ෂණය කුළුගැන්වෙනුයේ ඉන්ද්‍රීයානුභූතියට අදාළ දත්තයන් අරමුණුකර මඤ්ඤනාකිරීමෙන් වැළකී සිටීමේ හැකියාව ඇතිකර ගැනීමෙනි……උපුටා ගැනීම කටුකුරුන්දේ ඤාණනන්ද ස්වාමීන් වහන්සේ  විසින් රචිත සංකල්පය සහ යථාර්ථය පොතේ පිටු අංක 32 -33

සම්පූර්ණ සූත්‍රය කියවීමට

 

 

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=21515

Leave a Reply