Yathiwara Sithuvili

Yathiwaraශ‍්‍රී සම්බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය උදෙසා තම ජීවිතයම කැපකළ මෑත කාලයේ පහළ වූ අති උතුම් යතිවරයන් වහන්සේලා දෙනමක් වන අතිපූජනීය මාතර ශ‍්‍රී ඥානාරාම මාහිමිපාණන් වහන්සේ හා අතිපූජනීය කඩවැද්දුවේ ජිනවංශ මාහිමිපාණන් වහන්සේගේ නිස්සරණ අදහස් එකතුවකින් මෙම ග‍්‍රන්ථය සමන්විතය.

අතිපූජනීය මාතර ශ‍්‍රී ඥානාරාම මාහිමිපාණන් වහන්සේගේ ගුණ සිහිකිරීම සඳහා පළ කරන ලද ‘අමාබින්දු’ නම් ග‍්‍රන්ථයේ පළ වූ උන්වහන්සේගේ දිනපොතින් උපුටාගත් සටහන් එකතුවක් හා මාහිමිපාණන් වහන්සේ පිළිබඳ තොරතුරු ඇතුලත් ලිපි කිහිපයක් ද, අතිපූජනීය කඩවැද්දුවේ ජිනවංශ මාහිමිපාණන් වහන්සේගේ ගුණ සැමරීම සඳහා පළකරන ලද ‘ආත්ම ප‍්‍රත්‍යවේක්ෂණය’ නම් ග‍්‍රන්ථයෙන් උපුටාගත් උන්වහන්සේගේ අදහස් හා ලිපි කිහිපයක්ද මෙහි දක්වනුයේ ඒ උතුම් ජීවිත හා අදහස් දෙස බලා සැනසෙන ඔබ වෙනුවෙනි.

ගස් අතර අරටු ගස් විරලය. කාර්මිකයන් අතර දක්ෂයන් දක්නට ලැබෙන්නේ කලාතුරකිනි. පුද්ගලයන් අතර භාවිත වාසනාව ඇති මැණික් වැනි විසිතුරු පුණ්‍යාත්මීන් මුණ ගැසෙන්නේ දහසකින් කෙනෙකි. ඊට ඔබ දුක් විය යුතු නොවේ. බොරලූ කන්දට එළිය දෙන අගනා මිණි රුවනක්සේ දුලබ මිනිස් ගුණයෙන් හෙබි එක් පුද්ගල රත්නයකින් දහස් දෙනාට එළිය ලැබෙන සැටි සිහි කරන්න. සැගවී ඇති පුද්ගල වාසනාව මතුකර පහන් වැනි මැණික් වැනි කල්‍යාණයන් පේළිකර ගැන්ම හොඳ හිතේ පෙරහර විය යුතුය. අප විඳගන්නා ධර්ම සැපය තව බොහෝ දෙනාට විඳගන්නට සැලසීම අපේ මෛත‍්‍රී පිළිවෙත විය යුතුය. පුද්ගල අඳුරෙන් දුක් වීම හිත ආතුර කර ගැනීම නොව ඒ අඳුරු තැන්වලට එළිය දීම අපේ කරුණා මෙහෙවර විය යුතුය.

මානසික ලෙඩින් පෙළෙන්නවුන්ගේ ඒ ලෙඩ සුවකර ගැන්මට උදව්වනු මිස ඔවුන්ගේ කෙඳිරියට අත්වැල් වීම අපේ ඤාණ පිළිවෙත නොවිය යුතුය. ලොවුතුරා බුදුගමන අපේ සැනසිලි ගමනේ ආදර්ශ මාර්ගය විය යුතුය. බුදු එළිය අපේ සැනසිලි පිළිවෙතින් නොනිවෙන ආලෝකය විය යුතුය. නැණ එළිය විහිදුවා කරුණාවෙන් විසිතුරුව නොකඩවා පැවැත්වූ අසිරිමත් බුදුගමනට බුදුපෙරහරට අපි හැම අනුයාත වෙමු.

Download

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=15387

Leave a Reply