සෙත් පිරිත් යනු බුදු දහම ද?

පිරිත් කොටස් කිහිපයකට බෙදන්න පුලුවන්, ඒ බුද්ධ කාලීන සූත්‍ර දේශනා සහ පසුකාලීන සෙත් පිරිත් දේශනායි. බුද්ධ කාලීනව බුදුන් වහන්සේ සහ අග්‍රශ්‍රාවකයන් වහන්සේලාගේ දේශනා ත්‍රිපිටකය ආශ්‍රිතව දැකගන්න පුලුවන්. ඒ සියල්ලම පාහේ ‘නිවන් මඟ’ අරමුණු කරගත් දේශනා. නමුත් පසුකාලීනව මහායානිකයන් විසින් ප්‍රබන්ධ කරපු පිරිත් දේශනා සහ වෙනත් පසුකාලීන පිරිත් දේශනා කිහිපයක් තියෙනවා. ඒවා බුදු දහම සමඟ ඈඳා ගැනීමෙන් මිනිසා තරමක් නිර්මල බුදු දහමින් ඈතට ගෙනියනවා.
බුද්ධ කාලීනව තිබූ කඳ සූත්‍රය සහ කරණීය මෙත්ත සූත්‍රය කියන්නේ මන්ත්‍ර නොවෙයි එහි අර්ථය වන්නේ සියලු සත්වයින්ට මෛත්‍රී කිරීම තුලින් බාහිර බලපෑම් වලින් ආරක්ෂා වීමයි. ඒ වගේම ආටානාටිය සහ රතන සූත්‍රය දේශනා කරන්නේ අමනුෂ්‍ය බලපෑම් වලින් ආරක්ෂා වීමටයි.

අපි උදාහරණයක් විදිහට මේ දේ හිතමු, අන්ත අසාධ්‍ය පිළිකා රෝගියෙක් ඉන්නවා ඒ රෝගියාට ජය පිරිත දේශනා කරනවා. දහස් වාරයක් ජය පිරිත දේශනා කලත් මැරෙන්න තියෙන කෙනා මැරෙනවා. එතකොට බාහිරව ඒ දිහා බලා ඉන්න කෙනෙක් බුදු දහම විනිශ්චය කරන්නෙත් සාමාන්‍ය අනෙක් ආගම් වගේමයි. පසුකාලීන සෙත් පිරිත් මා දකින්නේ හිංදු, කතෝලික, ඉස්ලාම් යාඥා වලට විකල්පයක් ලෙසයි.

……… උදාහරණයක් විදිහට අංගුත්තර නිකායෙ දසක නිපාතයේ එන ගිරිමානන්ද භික්ෂුව අසාධ්‍ය වෙලා ඉන්න අවස්ථාවේ ආනන්ද හිමියන්ට කියන්නෙ නැහැ ගිහින් බුද්ධානුභාවයෙන් රෝගය සුව කරන්න පිරිත් ටිකක් කියන්න කියලා. උන් වහන්සේ දේශනා කරන්නේ අවසන් මොහොතේත් ‘දස සඥ්ඥා’ දේශනා කරලා නිවන් මඟ අරමුණු කරවන්න කියලා. 

සමහරුන් බුද්ධ කාලීනවත් සෙත් පිරිත් කිවුවා ය කියන මතය ඔප්පු කරන්න අංගුලිමාල සූත්‍රය   (මජ්ඣිමනිකාය » මජ්ඣිමපණ්ණාසපාළි » රාජවග්ගො) උපුටාගන්නවා. නමුත් අංගුලිමාල සූත්‍රයේ පැහැදිලිව තියෙනවා ඒක පිරිතක් නොවෙයි සත්‍යක්‍රියාවක් පමණයි. අංගුලිමාල භික්ෂුව බුදුන් වහන්සේගෙන් අහනවා මෙහෙම කාන්තාවක් දරුගැබක් නිසා මරණාසන්න වෙලා මොකද කරන්න පුලුවන් කියලා බුදුන් වහන්සේ දේශනා කරනවා ඔබ ආර්ය ජාතියේ උපන් දා පටන් සතෙකු නොමැරූ බවට සත්‍යක්‍රියා කරන්න කියලා. ඒ වනවිට අංගුලිමාල භික්ෂුව අරහත්වය ලබලත් නැහැ. ඔබ දන්නවා සත්‍යක්‍රියාවක් කළ යුත්තේ තමන්ගේ ප්‍රතිපත්තියක් මත පිහිටලයි. අංගුලිමාල මහ රහතන් වහන්සේගේ ජීවිතය මත පිහිටලා අපි සත්‍යක්‍රියා කරන එක ප්‍රායෝගිකද? 

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=22520

Leave a Reply