මූලපරියාය සූත්‍රය ට බුදුගොස් හිමියන් දී තිබෙන අටුවාව -බොදු හද බැඳගත් චිරාගත”නිබ්බාන”  සංකල්පය බේරා ගැනීමට ගත් අනිසි ප්‍රයත්නයක්

මූලපරියාය සූත්‍රය 1. මූල පරියාය වර්ගය, මූලපණ්ණාසක, මජ්ඣිම නිකාය – 

මෙම සූත්‍රයට බුදුගොස් හිමියන් දෙන අටුවාව:-

අටුවාව දක්වන පරිදි බුදුරදුන් මේ සූත්‍රය දේශනා කිරීමේ ආසන්න හේතුව පර්‍යාපතිය නිසා මානය උපදවාගත් භික්ෂූන පන්සිය නමකගේ මානය දුරුකිරීමය. ඔවුන්ගේ මානයට විශේෂයෙන් තුඩුදුන් කරුණ හැටියට අටුවාව සදහන් කරන්නේ ඔවුන් පැවිද්දට පෙර ත්‍රිවේද පරාගත බමුණන්ව සිටීමය. // කටුකුරුන්දේ ඤාණනන්ද ස්වාමීන් වහන්සේගේ සටහන:-  නමුත් සූත්‍රයෙන් එවැනි මතයකට පැහැදිලි ඉඟියක් නොලැබෙන නමුදු එවැන්නකට ඉඩ ඇති බවක් සූත්‍රය අවසාන වන පහත සඳහන් වැකියේ අමුතු ස්වරූපයෙන් හැඟීයයි.

“ඉදමවොච භගවා. න තෙ භික්‌ඛූ භගවතො භාසිතං අභිනන්‌දුන්‌ති” ( භාග්‍යාතුන් වහන්සේ මෙය වදාළහ. ඒ භික්ෂූහු භාග්‍යාතුන් වහන්සේගේ භාෂිතය ගැන සතුටු නොවූහ.)

මේ තරම් දිගු සූත්‍ර දේශනාවක් එය දෙසීමට විශේෂයෙන් අරමුණුවූ භික්ෂූන්ගේ සතුටට හේතු නොවීයයි සඳහන් වන අන් තැනක් නැති තරම් ය. ඒ නිසා අටුවා මතය සහේතුක විය හැකිය. අප ඉහත දැක්වූ පරිදි මේ සූත්‍රය සමස්තයක් වශයෙන් සංකල්පයන්ගේ මෙන්ම ඒවායේ ක්‍රියාකාරක පද සම්බන්ධයේ යථා තත්වය හෙළිදරව් කරයි. සංකල්ප බෞතික හෝ අධ්‍යාත්මික හෝ වේවා, ලෞකික හෝ වේවා, ලෝකෝත්තර හෝ වේවා ආධානග්‍රාහීව දෘෂ්ටිග්‍රාහයෙන් නොගත යුතු ය. ඒවා පරමාර්ථ වශයෙන් නොගතයුතු අතර, අධ්‍යාත්මික ප්‍රයත්නය තුළදීම අවස්ථානුකූලව ඒවා අතහැර දැමිය යුතු වේ. සූත්‍රයේ සැබෑ අර්ථසාරය මෙය නම් එය ඇසූ ඒ මානත්ථදධ භික්ෂූන් දුර්මුඛ වීමෙහි පුදුමයක් නැත. අටුවා මතයට අනුව නම් ඔවුන් දුර්මුඛ වූයේ මේ ගැඹුරු සූත්‍ර දේශනාව ඔවුන්ට තේරුම් නොගිය නිසා ය.

එහෙත් ඒ වෙනුවට අපට පෙන්වාදිය හැක්කේ ඔවුන් දුර්මුඛවූයේ සූත්‍රය තේරුම් ගත් නිසාම බව ය. ඔවුන්ගේ මානය දුරුවූයේ (අටුවාව කියන පරිදි ) සූත්‍රයේ ගැඹුරු බව නිසා නොවේ. සූත්‍රය තුළින් ඉස්මතු කෙරෙන භාෂාවේ අන්තර්ලීන අපෝහක බවම ඔවුන්ගේ මානය මර්දනය කළබව කිව හැකිය.  

ඇත්තෙන්ම මේ සූත්‍ර දේශනාවෙන් කැරෙන “අනාවරණය” අප බොහෝ දෙනෙකුන් නොසන්සුන් කරවන සුලුය. බුදුගොස් හිමියන් පවා මේ සූත්‍ර යටින් දිවෙන අර්ථචායාවන් මුළුමනින්ම අගය කිරීමට පසුබට වූ බව පෙනේ. මෙයට සාධක වන කදිම ඉඟියක් සංකල්ප විසිහතරේ ලේඛනයේ අගට එන “නිබ්බාන” යන වචනය පෙළිබඳව බුදුගොස් හිමියන් දෙන විවරණය තුළින් මතුවෙයි. මේ විවරණයේ දී උන්වහන්සේ “නිබ්බාන” යන්නෙන් මෙහිදී අදහස් කරන්නේ අන්‍යතීර්ථකයන්ගේ “නිබ්බාන” සංකල්ප පහ පමනක් බව පෙන්වා දීමට සුහුසුළු වෙති. මෙසේ පටු අර්ථයකින් ගැනීම සූත්‍රයේ ගැඹුරු අන්තර්ගත හා කිසිසේත් නොසැසඳෙන්නකී. අටුවා සම්ප්‍රදාය, බොදු හද බැඳගත් චිරාගත “නිබ්බාන”  සංකල්පය බේරා ගැනීමට ගත් අනිසි ප්‍රයත්නයක් ඒ තුළින් ප්‍රකට වේ. විමුක්ත මුනිවරයා “නිබ්බාන” හෝ “විරාග” වැනි සංකල්ප පවා ග්‍රහණය කර නොගන්නා බව සුත්තනිපාතයේ සුද්ධටඨක සූත්‍රයේ ද සදහන් වේ. උපුටා ගැනීම කටුකුරුන්දේ ඤාණනන්ද ස්වාමීන් වහන්සේ  විසින් රචිත සංකල්පය සහ යථාර්ථය  පොතේ පිටු අංක 47 සිට 52  ඇසුරෙන් 

සංකල්පය සහ යථාර්ථය සම්පූර්ණ පොත බා ගැනීමට මෙම පිවිසුමට ඇතුල්වන්න

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=21526

Leave a Reply