පසන් සිත් පහන් කරන පන්සිල්

සම්බුද්ධත්ව ජයන්තියට පිළිවෙතින් පෙළ ගැසෙන්නට යැයි උදේ – හවා – දිවා – රාත්‍රි නිතරම අපට අසන්නට ලැබෙන වදන් පෙළකි. පිළිවෙතින් පෙළ ගැසෙන්නටය යනුවෙන් පවසන්නේ පන්සිල් හෙවත් පංචශීල ප්‍රතිපත්තියේ පිහිටන්න කියාය. මේ පන්සිල් රැකීම බුදු සමයවාදීන්ට පමණක් සීමාවූවක් නොවේ. එය හැම ආගමික දහමක් රක්ෂා කරන ඕනෑම කෙනෙකුට රැකිය හැකිය. ජීවිතයකින් අප අපේක්ෂා කරන්නේත් එයයි.

පංචශීල ප්‍රතිපත්තියේ නිරතවන අයගෙන් සමාජයට වැරැදි සිදුවන්නේ නැත. අද අපට අසන්නට ලැබෙන අපරාධවලට මුලවන්නේ පංචශීල ප්‍රතිපත්තියේ නොපිහිටීමයි.

පුද්ගලයා බොරුකීමෙන් වැළැකීම, සත්ත්ව ඝාතනයෙන් වැළැකීම, කාමයෙහි වරදවා නොහැසිරීම, මත්පැන් බීමෙන් වැළැකීම, අන්සතු දේ නොගැනීම ආදියෙන් අප වැළැකී සිටින්නේ නම් එම පුද්ගලයාගෙන් සමාජයට කිසිදු හානියක් සිදු නොවේ.

නියතයෙන්ම දහමට නැඹුරුවන පුද්ගලයා කරන්නේ පන්සිල් හි පිහිටීමය. මිනිස් ජීවිතයේ යථාර්ථය අප මැනවින් පසක් කොට ගත යුතුය. තමාගෙන් සමාජයට කිසිදු වරදක් නොවන අන්දමට හැසිරිය යුතුය. මේ ප්‍රතිපත්ති සැබැවින් ම ප්‍රායෝගික වියයුතුය. එය න්‍යායන්වලට පමණක් සීමාවීමෙන් ඵලක් නොමැත. එමෙන් ම බාහිර වශයෙන් ප්‍රතිපත්ති පුරන බවට හඟවමින් අභ්‍යන්තරයේ එම ප්‍රතිපත්ති උල්ලංඝනය කරන්නේ නම් එතැන ප්‍රතිපත්ති රැකීමක් සිදුනොවේ. සැබැවින් ම ප්‍රතිපත්ති රැකිය යුතුය. එසේ රකින පුද්ගලයා තමන්ට මෙන් ම සමාජයටත් පරමාදර්ශයකි.

ප්‍රසන්න සිත අප්‍රසන්න තත්ත්වයට පත්කර ගන්නේ පුද්ගලයාය. තමන්ට උපතින් ම ගෙන දෙන ප්‍රසන්න සිත කිලිටි නොකර ගත යුතුය. කිලිටි වන්නේ නරක සිතුවිලි හේතුකොටගෙනය. කළයුත්තේ පසන් සිත පහන් කර ගැනීමය. පහන් සංවේග උපදවාගෙන ප්‍රතිපත්තිමත පිහිටා කටයුතු කිරීමය.

ප්‍රසන්න ලක්ෂණවලින් හෙබි, උපයුක්ත සිත පහන් සිතුවිලිවලට ගෙනයා යුතුය. එසේ ගෙන යන්නට හැකියාවක් ඇත්තේ ප්‍රතිපත්ති මත පිහිටාය. අට සිල් රකින්නට පෙරාතුව පන්සිල් රැකිය යුතුය. නිසි ලෙස පන්සිල් රැකීමෙන් අනතුරුව අටසිල්වලට නිබඳවම යොමු වේ.

බාහිර සමාජයේ දී මත්පැන් ගන්නේ නැතැයි හඟවා තම නිවෙසේ දී මත් පැන් ගන්නේ නම් එතැන ප්‍රතිපත්ති පිරීමක් නොමැත. එතැනින් මතුවන්නේ වංචනිකත්වයකි. අවසානයේ දී රැවටෙන්නේ තමාමය. තමා, තමා විසින් රවටා ගැනීමට බුදුසමයේ ඉඩක් නැත. තමාගේ සෙවණැල්ල තමාමය. ඒ පරමාර්ථයේ පිහිටා අවංක අයුරින් ප්‍රතිපත්ති රකින්නට ඉටා ගැනීම ජීවිතය ජය ගැනීමකි.

අප නිතරම වෙහෙසිය යුත්තේ ජීවිතය ජයගන්නටය. ජීවිතය ජයගන්නට කළයුත්තේ කුමක් ද? ප්‍රතිපත්ති රැකීමය. අවම වශයෙන් පංචශීල ප්‍රතිපත්තියේවත් පිහිටීමට අදිටන් කරගත යුතුය.

පන්සිල් රකින තැනැත්තා නිතරම අවදියෙන් සිටින අතර එම පුද්ගලයා වැරැදි කරන්නට නොපෙළඹේ. වරදට හරිම බයයි. වැරැදි කරන්නට නොපෙළඹෙන අතර අන් අය වැරැදි කරන්නට උත්සාහ ගන්නේ නම් එය වළකාලීම පන්සිල් රකින තැනැත්තාගේ කාරියයි.

ඕනෑම පුද්ගලයකුට වැරැදි කරන්නට සීමාවක් නැත. අප කළයුත්තේ එම සීමාවෙන් ගලවා ගැනීමයි. අප්‍රමාණව වරදෙහි බැඳෙන්නේ නම් පුද්ගලයාට මෙලොව මෙන් ම පරලොව ද සහනශීලි තැනක් නොවේ.

අප කෙරෙහි මතුවන ආවේගශීලි හැඟීම් පාලනය කරගන්නට තරම් ශක්තියක් නිරන්තරයෙන් ම තිබිය යුතුය. ආවේගශීලි හැඟීම්වල අවසාන ඵලය වන්නේ අපරාධයයි. අවැඩයි. සමාජය පිළිකුල් කරන සන්සිද්ධියක් හෝ සන්සිද්ධි පද්ධතියකි.

තමා සමාජයේ පිළිකුලට පත්වෙනවාද? එසේ නැත්නම් ප්‍රසාදයට පාත්‍ර වෙනවාද? අප නිතරම උත්සාහ ගත යුත්තේ අප්‍රසාදයට පත්වීමට නොව ප්‍රසාදයට පත්වීමය.

කිසියම් වැරැදි වැඩක් සිදුකළ පුද්ගලයෙකු කාගේත් ප්‍රසාදයට පාත්‍ර නොවේ. ඔහු හෝ ඇය දෙස බලන්නේ වපර ඇසිනි. අප ඒ තත්ත්වයට පත් නොවිය යුතුය.

අප සෙල්ලමටවත් බොරුවක් නොකියන්නේ නම් අපේ ජීවිතය කොතරම් ප්‍රභාමත් ද? එක බොරුවක් වසා ගන්නට බොරු කිහිපයක් කියන්නට සිදුවේ. බොරු කියන තැනැත්තා සමාජයේ අතිශය පිළිකුලට භාජනය වේ. සමාජයේ අපට හමුවන බොහෝ අය සත්‍යවාදී පිරිස් නොවේ. එම පුද්ගලයා සත්‍ය දෙයක් පැවැසුවත් පිළිගන්නට සුදානම් නැති අවස්ථා එමටය. එයින් හානිය කාටද? එම පුද්ගලයාටම නොවේද?

රාගාධි කෙලෙස් නිතරම පුහුදුන් පුද්ගලයා කෙරෙහි ජනිතවේ. සිත හා කය පිනවන්නට නිතරම වෙහෙස ගනී. මේ රාගාධි සිත පාලනය කරගැනීම යනු ප්‍රතිපත්ති රැකීමකි. ලස්සන දේ පසු පස හඹා යාම පුහුදුන් ගති ලක්ෂණයකි. ලස්සන සැමදා දක්නට නො ලැබේ. උදේට පිපුණු ලස්සන පුෂ්පය සවසට පරවේ. මිනිස් ජීවිතයත් එසේ මය.

වයසට ගිය විට දක්නට ලැබෙන්නේ පුංචි අවදියේ සිටි පුද්ගලයා නොවෙයි. කෙස් පැසී, හම රැලි වැටී, දත් හැලී ශක්තිය හීන වී, අවලස්සන වී පෙර පැවැති ස්වරූපය කෙමෙන් වියැකී යයි. මේ ජීවිතයේ යථා ස්වභාවය තේරුම් නොගන්නේ ඇයි? අපට සැමදා එකම අයුරින් ජීවත්විය නොහැකිය.

බොහෝ අය අධික රූප මානයෙන් ඔද වැටී අහංකාර ස්වරූපයක් ගනී. මෙය ද මෝහයේ ලක්ෂණයකි. බුදුරදුන් දවස සිටි ‘රූපනන්දාත්’ එසේ රූපමානයෙන් අහංකාර වූ ස්ත්‍රීයකි. මේ රූපමානය වියැකී, හීනවී යන ආකාරය රූපනන්දාට බුදුරදුන් පෙන්නුම් කළ සේක. රූපනන්දාටත් වඩා රූපයෙන් අගතැන්පත් අයෙක් පෙන්නුම් කොට අර රූපමානය බිඳ දැම්මේ ය. මෙයට මූලික හේතුව මෝහයයි. පංචශීලයෙහි නොපිහිටීමයි. පන්සිල් හි පිහිටා කටයුතු කරන්නේ නම් මෙබඳු ළාමක තත්ත්වයක් ඇති නොවේ.

අළාමක ගති පැවැතුම්වලින් උපයුක්ත ජීවිතය පිළිබඳව අපට බලාපොරොත්තු තබාගත හැකිය. පන්සිල්වල පිහිටන පුද්ගලයා දෙස බලා අපටත් ඒ මාර්ගයේ ගමන් කළ හැකිය. ඒ දෙස ඇඟිල්ල දිගු කර ආදර්ශයට ගන්න යයි කියන්නට අපට හැකියාවක් ඇත.

යමෙක් සත්ත්ව ඝාතනයට යොමුවන්නේ නම් එම පුද්ගලයාගේ ජීවිතයේ හරයක් තිබේද? හරසුන්, පරිහානි ධර්මය කරා සිත මෙහෙයවීමෙන් අත්වන්නේ සංසාරය තව තවත් දිගුවීමය.

සමාජයේ කාටත් හිරිහැරයක් නොවන සේ ජීවත් වී උපශාන්ත ගති ලක්ෂණවලින් සමලංකෘත ජීවිතයක් ගතකොට මියයාමය. උපතත් සම¼ඟ මරණය රැගෙන ආ අපට සදාකාලික වශයෙන් ජීවත්වීමට හැකියාවක්, ශක්තියක් නොමැත. මිය යනවාය යන යථාර්ථය තේරුම් ගන්නේ නම් සමාජයේ අපරාධ බොහෝදුරට අවම කරගත හැකිය.

2600 සම්බුද්ධත්ව ජයන්තියට පෙළගැසෙන්නට යනුවෙන් පවසන්නේ මිනිසා කෙරෙහි ශික්ෂණයක්, විනයක් ඇති කිරීමටය. පුද්ගලයා පොතපතින් ලබන ඥාන සම්භාරය ප්‍රමාණවත් නොවේ. බොහෝ සේ උගත් අය වරදට පෙළඹෙන්නේ නැද්ද? උගත්කම සමඟම විනයත් ජීවිතයේ ඇතිවිය යුතුය. සමබර දිවියක් ජනිතවන්නට අමෝහය හා පන්සිල් රැකීම අතර සමගාමී තත්ත්වයක් උද්ගමනය විය යුතුය.

නිවෙසේ පරිසරය පුද්ගලයා පන්සිල් හි පිහිටීමට බලපාන්නකි. මවුපියන් වරදෙහි නොයෙදෙන්නේ නම් දරුවන්ද වැරැදි කරන්නට බිය වේ. පරමාදර්ශය නිවෙසයි. මවුපියන් නිසිමඟ ගොස් තම දරුවන් ද නිසි මාර්ගයේ යෙදවිය යුතුය. එසේ නොමැතිව මවුපියන් වැරැදි මාර්ගයේ ගොස් දරුවන්ට හරි මාර්ගයේ යන්නට උපදෙස්දීමෙන් කිසිදු ඵලක් නොමැත.

කකුළුවා ඇදයේ ගමන්කොට පැටවුන්ට කෙලින් යන්නට කීමෙන් ඵලක් නොමැත. මේ අපරාධවලට මුල වන්නේ පාසල් පරිශ්‍රයේ හා නිවෙසේ පවත්නා යම් යම් දුර්වලතාවන්ය. මේවා අප කෙමෙන් වළකාලන්නට උත්සහ ගැනීමට ඉටා ගැනීම සම්බුද්ධත්ව ජයන්තියට පෙළගැසීමේ නිමිත්තයි. මේ පෙළ ගැසීම ඵලය කොටගෙන පන්සිල් රකින්නට ඉටා ගතහොත් සමාජයේ සිදුවන අපචාර, අපරාධ ආදිය පූර්ණ වශයෙන් තුරන්කරලීමට නොහැකිවුවත් කෙමෙන් ඒවා අවම කරගත හැකිය.

ජීවිතයේ පවත්නා අස්ථිර, නිසරු ස්වභාවය තේරුම් ගන්නේ නම් අපට වැරැදිවලින් පහසුවෙන් දුරස්ථ විය හැකිය. මෙතැන දී පුද්ගලයාගේ කාර්යය විය යුත්තේ කුමන ආගමකට සම්බන්ධ වුවත්, කුමන දෘෂ්ටියක් වැළඳගත්තත් පුද්ගලයාට පොදු ධර්මතාවයක් තිබේ. එම ධර්මතාවෙන් පිට පනින්නට කිසිදු පුද්ගලයකුට නුපුළුවන.

පන්සිල් රැකීම හැම පුද්ගලයකුටම පොදුය. එය පිටු දැකීමත් හැම පුද්ගලයකුටම කළ හැකිය. එය කළ යුතු යයි කියා නීතියක් නැත. එහෙත් එයින් බැහැරව ගිය හොත් එහි විපාක විඳින්නට සිදුවන්නේත් පුද්ගලයාටමය. සමාජයටමය.

පුද්ගලයා සිදු කරන වැරැදිවලින් දුක්විඳින්නට සිදු වන්නේ අර වැරැද්ද සිදු කළ පුද්ගලයාට පමණක් නොව සමස්ත සමාජයටමය. මේ තත්ත්වය ද අප තේරුම්ගත යුතුය.

පන්සිල් හි පිහිටුවන්නට උචිත පරිසරයක අපි දැන් සිටින්නෙමු. බුදුරදුන් බුද්ධත්වයට පත් වී මේ වසරේ මැයි මසට වසර 2600කි. මෙය හොඳම කඩඉමක් කරගෙන පන්සිල්හි පිහිටන්නට අප සැවොම ඉටාගත හොත් එය බුදුරදුන්ට සිදු කරන උසස්ම උපහාරයකි. එය උපහාරයක් සේම තමන්ගේ ජීවිතයට ද මහත් සැනසිල්ලකි.

 ගොතටුව පාරමිතා ශ්‍රී මහ බෝධිමලු විහාරාධිපති
ලේඛන සුරී, ශාස්ත්‍රපති පණ්ඩිත අරම ධම්මතිලක නාහිමියන්
සමඟ සිදුකළ සාකච්ඡාවකින් සැකැසිණි

උපුටා ගැනීම  Dinamina 2011/04/05/

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=13214

Leave a Reply