«

»

Sep 30

Print this Post

සදහම් ආලෝකය විහිදුවන බොදු සාහිත්‍ය පහන්

අප තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශිත ශ්‍රී සද්ධර්මය මෙරට ජනතාව අතර වඩාත් ප්‍රචලිත කිරීමට මහඟු දායකත්වයක් සැපයුවේ බොදු සාහිත්‍ය ලෝකය තුළ දැල්වුණු පහන්සිළු රාශියකි. ගද්‍ය හා පද්‍ය වශයෙන් කොටස් දෙකකට බෙදා වෙන් කළ හැකි බෞද්ධ සාහිත්‍ය රස වින්දනය තුළින් විවිධ දුක්ඛ දෝමනස්සයන් හමුවේ සුසුම්ලන ජීවිතය සනසාලිය හැකිය.

ජීවන අත්දැකීම් වඩාත් තියුණු කළ හැකි ජීවිතය ගැඹුරින් හැදෑරිය හැකි මං පෙතක් වන මේ සදහම් ග්‍රන්ථ සෑම බෞද්ධයකුම පරිශීලනය කළ යුතුමය. මහින්දාගමනයෙන් පසුව අපට බෞද්ධ සාහිත්‍යයකට උරුමකම් කීමට හැකිවිය. පාලි භාෂාවෙන් උපත ලද සාහිත්‍යයත්, ත්‍රිපිටකගත ධර්මයත් ආරක්ෂා කර පෝෂණය කරනු ලැබුවේ අපගේ උගත්, බුද්ධිමත් , සිල්වත් මහතෙරුණුවරුන් විසිනි. අප තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අපරිමිත ගුණකඳ සාහිත්‍ය කෘති තුළින් වර්ණනයට ලක් වී ඇත. ඒ මතු ද නොව බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මයද මෙම කෘති තුළ නිර්මාණාත්මකව අන්තර්ගත කර ඇත. මෙම ග්‍රන්ථ අතර බුත්සරණ, සදහම් සරණ, සඟ සරණ, අමාවතුර, සද්ධර්ම රත්නාවලිය , පූජාවලිය, ජාතක පොත් වහන්සේ සහ ධර්ම ප්‍රදීපිකාව ප්‍රධානතම ගද්‍ය ග්‍රන්ථයන් ය.

පද්‍ය ග්‍රන්ථ අතරින් කව්සිළුමිණ, ලෝවැඩ සඟරාව, කාව්‍යශේඛරය, බුදුගුණාලංකාරය, සක්දාවත, ගුත්තිල කාව්‍ය, මුවදෙව්දාවත කැපී පෙනේ. බෞද්ධ සාහිත්‍ය ග්‍රන්ථ රචනා කරන ලද කතුවරයන්ගේ මූලිකම අරමුණ වූයේ බුදු ගුණ වැනීමය.

බුත්සරණ
මෙම මාහැඟි ග්‍රන්ථය විද්‍යාචක්‍රවර්තින් විසින් බුදුගුණ වර්ණනා කිරීම සඳහා ලියනු ලැබ ඇත. මෙම ග්‍රන්ථයටම අමෘතාවහ යන නමද දී ඇත. ග්‍රන්ථය නිමා කර ඇත්තේ අමෘතාවාහ නම් වූ බුද්ධ චරිතය නිමි යනුවෙනි. මෙම ග්‍රන්ථයේ ආරම්භක පරිච්ඡේද තුළ බුදුරජාණන් වහන්සේගේ දෙසුම් විලාස දේහ විලාසය ආදිය විස්තර කර ඇත. අවසන් පරිච්ඡේද තුළ දිග හැරෙන්නේ වෙස්සන්තර ජාතක කතාවත්, විසිතුරු උපමා භාවිත කරමින් කරන ලද්දා වූ බුදු රජාණන්වහන්සේගේ ගුණ වර්ණනයත්ය.

 දහම් සරණ හා සඟ සරණ
ධර්ම රත්නයේ ගුණ සහ සංඝ රත්නයේ ගුණ වර්ණනා කිරීම සඳහා රචිත මෙම ග්‍රන්ථ දෙකද විද්‍යාචක්‍රවර්ති පඬිරුවනගේ නිර්මාණ කාර්යක් වන බව ඇතැමුන්ගේ මතයයි. ග්‍රන්ථ ත්‍රිත්වයෙහිම රචනා ශෛලීන් පිරික්සු ඇතැම් විද්වතුන් පවසා ඇත්තේ පෙර මතය පිළිගත නොහැකි බවකි. බුත්සරණ පොළොන්නරු රාජධානි සමයේදීත් දහම් සරණ හා සඟ සරණ දඹදෙණි රාජධානි සමයේදීත් රචනා වී ඇතැයි සැලකේ.

අමාවතුර
බුදුරජාණන් වහන්සේගේ පුරිසදම්ම සාරථි ගුණය වර්ණනයට ලක් කරමින්, රචිත මේ ග්‍රන්ථයේ කතුවරයා ගුරුළුගෝමී නම් වූ පඬිරුවනකි. උතුම් වූ බුදුගුණ බලය හමුවේ දරුණු සතුන්, යක්ෂයන් හා ප්‍රචණ්ඩ මිනිසුන් දමනය වූ අයුරු මැනැවින් මේ ග්‍රන්ථය තුළ චිත්‍රණය කර ඇත.

 සද්ධර්මරත්නාවලිය
සද්ධර්මය නමැති මිණිකැට අමුණන ලද මාලය යන නම ලද මෙකී ග්‍රන්ථය දඹදෙණි රාජධානි සමයේ වැඩවාසය කරන ලද හිමිනමක විසින් රචනා කරනු ලැබ ඇත. ධර්මසේන නම් වූ මේ ස්වාමීන් වහන්සේ ගැමි ජනයාගේ හදවතකට බොහෝ සේ ළංවීමට මෙම ග්‍රන්ථය ඔස්සේ සමත්කම් දක්වා ඇත.

සාමාන්‍ය ගැමි ජනවහර තුළින්ම නිපද වූ අපූරු උපමා, රූපක නිසි තැන නිසි විධියෙන් භාවිත කිරීම නිසාම මේ ග්‍රන්ථය සුවඳ විහිදෙන සදහම් පුෂ්පයක් බවට පත්ව ඇත.

සද්ධර්මාලංකාරය
පාලි භාෂාවෙන් රචිත රසවාහිනී නම් බණ කතා පොත පාදක කර ගනිමින් මේ ග්‍රන්ථය ලියා ඇත. එහෙත් රසවාහිනියේ නැති තෙරුවන් නැමදීමේ අනුසස්, දසපුණ්‍ය ක්‍රියා දානානිසංස ආදී වෙනත් කරුණු රැසක්ද මෙහි ඇත. පුද්ගලයාගේ ඇවැතුම් පැවැතුම් සමාජ සාරධර්ම සුපෝෂණය සඳහාම මෙම ග්‍රන්ථය රචනා වී ඇත.

 පූජාවලිය
තෙරුවන් සඳහා පුදපූජා පැවැත්වීමේ වටිනාකම විස්තර කරමින් රචිත පූජාවලියේ කතුවරයා මයුරපාද පිරිවෙන්පති බුද්ධපුත්‍ර හිමියන්ය. දඹදෙණියේ රජකළ දෙවැනි පරාක්‍රමබාහු රජුගේ ඇමැතිවරයෙකු වූ දේව ප්‍රතිරාජයන්ගේ ආරාධනයකට අනුව මෙම ග්‍රන්ථය ලියා ඇත.

මෙහි විස්තර වන්නේ් බුදුරජාණන්වහන්සේගේ ‘අරහං’ නමැති ගුණයයි. වේළුවනාරාම පූජා, ජේතවනාරාම පූජා, පූර්වාරාම පූජා නම් වූ පූජා වැලක්ම ග්‍රන්ථය තුළ දිගහැරෙන නිසා පූජාවලිය යන ග්‍රන්ථ නාමය කදිමට ගැළැපේ.

ජාතක පොත් වහන්සේ
පාලි ජාතකට්ඨ කතාව මත පදනම් වී රචිත මේ ග්‍රන්ථය තුළ බෝධිසත්ව චරිත විස්තර කර ඇත. කිසියම් සිද්ධියක් විග්‍රහකර එය අතීත කතාව සමග මනාව බද්ධ කිරීමේ හැකියාව මෙහි කතුවරයා සතුව මැනැවින් තිබෙන අයුරු දැකිය හැකිය. ජාතක කතා තුළින් විස්තර වන ජීවන පුවත් එක් පසෙකින් ජීවිත ගැඹුර පාඨකයාගේ හදට සමීප කරන අතර, ජීවිතයට අවැසි වටිනා උපදේශද සම්පාදනයේ යෙදේ. බෝධි සත්වයන් පාරමිතා පූර්ණය කළ අයුරුත්, බුදුරජාණන්වහන්සේ සතුව පැවැති ගුණ මහිමයත් මෙහිදී විස්තර කෙරේ.

ධර්ම ප්‍රදීපිකාව
පාලි මහා බෝධි වංශය පදනම් කර ගෙන රචිත මෙම කෘතියේ කතුවරයා ගුරුළුගෝමි පඬිරුවනයි. දහම් කරුණු රැසක් මෙම ග්‍රන්ථය කියවීම තුළින් උකහා ගත හැකිය.

පාලි ත්‍රිපිටකයෙන්, අට්ඨකතාවලින් හා සංස්කෘත ග්‍රන්ථවලින් මේ මහඟු ග්‍රන්ථය පෝෂණය ලබා දීප්තිමත්ව සදහම් එළිය විහිදුවයි.

මුවදෙව්දාවත සහ සසදාවත
ගී කාව්‍ය ගණයේ ලා සැලකෙන මෙකී ග්‍රන්ථය පොළොන්නරු රාජධානි සමය තුළ රචනා වී ඇත. මඛාදේව ජාතකය පදනම් කරගෙන මුව දෙව්දාවතත්, සස ජාතකය පාදක කොට ගෙන සසදාවතත් රචනා වී ඇත.

නෙක්ඛම්ම පාරමිතාව මඛාදේව ජාතකය තුළ නිරූපණය වී ඇති අතර සස ජාතකයෙන් දැක්වෙන්නේ දාන පාරමිතාවයි.

කව්සිළුමිණ
දඹදෙනි යුගයේ රජකළ දෙවැනි පැරකුම්බා රජ විසින් රචනා කරන ලද කව් සිළුමිණද ගී කාව්‍යය ගණයට අයිතිය. අපූර්වත්වයෙන් පිරිපුන් ජාතක කතාවක් වන කුස ජාතකය කව්සිළුමිණ තුළ නවජීවයෙන් උපත ලබා ඇත. සිංහල සාහිත්‍යයයේ පළමු මහාකාව්‍ය ග්‍රන්ථය වන්නේ ද කව්සිළුමිණයි.

කාව්‍යශේඛරය
සත්තුභස්ත්‍ර ජාතකය පදනම් කොට ගෙන රචනා වී ඇත. මෙයද මහා කාව්‍ය ග්‍රන්ථයකි. කතුවරයා තොටගමුවේ ශ්‍රී රාහුල හිමිපාණන් ය. සවැනි පැරකුම්බා රජතුමාගේ දියණියක වූ උලකුඩය දේවියගේ ආරාධනයකට අනුව ලියැ වී ඇත. සත්තුභස්ත්‍ර ජාතකයේ දැක්වෙන්නේ වයස්ගත ස්වාමිපුරුෂයෙකු හා නාඹර වියේ බිරියකගේ යුග දිවියේ නො ගැළපීමයි. එහෙත් මහාකාව්‍ය ග්‍රන්ථය ඉන් ඔබ්බට පිවිස විවිධ උයන් වර්ණනා, වන වර්ණ ආදියද චිත්‍රණය කරයි. ගැඹුරු සද්ධර්මය සරල ලෙස මෙහි විස්තර කොට ඇත. භාවනාව හා චතුරාර්ය සත්‍ය මෙලෙස විස්තර කොට ඇත.

 සිත කිලුටු                           කරනා
රාගාදී පව්                         මඩනා
සිතිවිලි                               බාවනා
දෙකෙකි විදසුන් සමත විසිනා
දුක් සමුදය                      නිරෝද
මඟ සමඟින් මෙකී              පද
සැබෑ කරුණෙන්             සොඳ
ඒසිවු සස් නම් දනුව  පිරිසිද

 ගුත්තිල කාව්‍ය
ගුත්තිල ජාතක කතාව පදනම් කර ගනිමින් වෑත්තෑවේ හිමිපාණන් විසින් රචිත මේ කෘතිය කෝට්ටේ රාජධානි සමයට අයත් සාර්ථක නිමැවුමකි. ඉතා ලිහිල් බසකින් මෙම කෘතිය රචනා වී ඇත.

බුදුගුණාලංකාරය
වීදාගම මෛත්‍රීය මාහිමිපාණන් මෙම කෘතිය රචනා කර ඇත. විසාලා මහනුවර ඇළලී ගිය තුන්බිය තුරන් කිරීම පිළිබඳ කතා පුවත තේමා කර ගනිමින් මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත. විසාලා මහනුවරට බුදුරජාණන් වහන්සේ වැඩමවා ගෙන ගිය පෙරහර පිළිබඳ වර්ණනාව සැබැවින්ම නිර්මාණශීලිය.

 ලෝවැඩ සඟරාව
ලෝකයේ වසන සැමගේ වැඩ පිණිස එනම් මෙලොව හා පරලොව දියුණුව සඳහා උපදෙස් සපයමින් රචිත මෙම ග්‍රන්ථයේ කතුවරයාද බුදුගුණාලංකාරය රචිත වීදාගම මෛත්‍රීය මාහිමිපාණන් ය.

පින් නොකරන දූ දනන් බස්           නාදා
තුන්දොස් මල දුරුකර සිත             පාදා
පන්සිල් නිති අටසිල් රැක              පෝදා
ඉන් මොක් පුර පැමිණෙව් නොව බාදා

 ජන ජීවිතය බණ දහමට, ගුණ දහමට යොමු කිරීමේ අටියෙන් ලෝවැඩ සඟරාව සම්පාදනය කර ඇත. ලෝවැඩ සඟරාවට පාදක වී ඇත්තේ ‘’සද්ධම්මෝපායනය’’ නම් පාලි ග්‍රන්ථයයි. මෙකී පද්‍ය හා ගද්‍ය ග්‍රන්ථ සියල්ල සියුම්ව විශ්ලේෂණය කර බලන විට පසක් වන්නේ, සැදැහැවත් බෞද්ධ ජනයා සදහම් යාත්‍රාවේ රැගෙන යන අතරතුරම ඔවුන්ගේ ජීවන අත්දැකීම් පුළුල් කිරීමට නිර්මාණකරුවන් අපමණ වෙහෙසක් දරා ඇති බවකි.

ගාල්ල, උඩුගම දකුණේ
පී.එල්. ජානක විශ්වජිත්

උපුටා ගැනීම

Budusarana – 2011/06/30/

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=10859

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

Facebook Auto Publish Powered By : XYZScripts.com