Using Dhamma in Wrong Direction

තම තමන් ජනප්‍රිය වීම සදහා මේ උතුම් වූ සද්ධර්මය වැරදි ලෙසට භාවිතා කිරීම මොන තරම් ඛේදනීයද?

වර්තමානයේ දී ත් භාග්‍යවතුන් වහන්සේ ගේ ධර්මය බහුලව කථා වෙනවා දකින්නට පුලුවන්. නමුත් තම තමන් ජනප්‍රිය වීම සදහා මේ උතුම් වූ සද්ධර්මය භාවිතා කිරීම මොන තරම් ඛේදනීයද? හුදෙක් තමන් ජනතාව අතරේ ජනප්‍රිය උදෙසාම අරමුනු කොට වැරදියට උච්චාරණය කරමින් පිරිත් දේශනාවන්, බුද්ධ වන්දනාවන් අනුන් ඉදිරියේ සජ්ජායනා කිරිමෙන්, ත්‍රිපිටකය ප්‍රතික්ෂේප කරන්නන්, මිත්‍යා දෘෂ්ඨික දේශකයන්, 84,000 ක් ධර්මස්කන්ධයෙන් 42,000 ක්ම ඇතුලත් අභිධර්මය ප්‍රතික්ෂේප කරන දේශකයන් ලෙසට යොදා ගනිමින් බෞද්ධයන් නොමග යවමින් ඔවුන් එක් රැස් කර ගන්නා ලද අකුසල් ප්‍රමාණය ඔවුන්ගේම වළ ඔවුන් කපා ගන්නා බව ඔවුනට ද නොවැටහේ. මෙයින් ඔවුන් අපාගත වන්නේ ශ්‍රී සද්ධර්මය වැරදි ලෙස භාවිතා කිරීමට අමතරව වැරදි දේ ප්‍රචාරය කිරීම නිසයි. මෙම ධර්ම ප්‍රචාරය කරන අයවලුන් අඩු වශයෙන් පංච ශීලයවත් ආරක්ෂා කරන  අය නම් වැරදි දෙය වැරදි ලෙසටත්, නිවැරදි දෙය නිවැරදි ලෙසටත් වටහා ගන්නට හැකියාව තිබෙනවා. නමුත් බහුතරයක් පන්සිල් වත් ආරක්ෂා නොකරමින් තමන්ගේ ජනප්‍රිය වීම මත්තේම එල්ලී සිටිම පිරිසිදු වූ සද්ධර්මයේ උන්නතියට මොනතරම් බාධාවක් ද. ඛේදනීය තත්වයක් ද?

ඔවුන් මෙම තෘෂ්ණාවෙන් ගිලී යාම නිසා ධර්ම දානය පිනිසම අරමුනු කරගනිමින් පමණක් ඔවුන් වෙතට එන සිල්වතුන්ගේ පැමිණීම වලක්වන්නේ ඔවුන්ගේ ජනප්‍රියතාවයට් හානියක් මෙම සිල්වතුන්ගෙන් සිදුවේ යයි භය නිසාමය. නමුත් සිල්වතුන්ගේ පරමාර්ථය තෘෂ්ණාවෙන් ගිලී සිටින මොවුන් හදුනා නොගැනීම නිසා ඔවුන් තව තවත් පාපයන් තමාගේ සතර අපායට යන ගමනට එකතු කර ගනී.

ඒ වගේ ම බුදු සසුන සුරැකීමට කියා, විවිධ කණ්ඩාම්, සංවිධාන සහ එකමුතු ගොඩ නගා ගෙන තිබෙනවා ත් දකින්නට පුලුවන්. නමුත් ඒ එකමුතුවන් ගෙන් සැබැවින් ම බුදු සසුන සුරැකීමක් සිදු වෙනවා ද කියන එක නම් ඇත්තෙන් ම ගැටලුවක්.. යම් පිරිසක් එකතු වී තම තමන් ගේ සිත් සතන්වල ඇති කෙලෙස් දුරු කර ගැනීම පිණිස කථා බහ කරනවා නම්, ඒ පිණිස ක්‍රියාත්මක වෙනවා නම්, එතැන පමණ යි බුදු සසුන රැකෙන්නේ. එසේ නොකරන තැන්වල හෝ කණ්ඩායම් තුළ බුදු සසුන රැකෙනවා වගේ එකක් පෙනුනත්, සැබැවින් ම සසුන රැකීමක් එවන් ස්ථානවල සිදු වන්නේ නැහැ.

 

අසාරේ සාර මතිනෝ
සාරේ චාසාර දස්සිනෝ
තේ සාරං නාධි ගච්ඡන්ති
මිච්ඡා සංකප්ප ගෝචරා

නිසරු දේ සරුය, සරු දේ නිසරුය යන වැරදි අදහස් ගොදුරු කර ගන්නෝ සරු දේ නොලබති.

එසේ නම් සරු දේ ගොදුරු කර ගැනීමට කළ යුත්තේ කුමක් ද? ධර්මය නිවැරදි ව අවබෝධ කර ගැනීමට අවශ්‍ය පහසුකම් වර්ධනය කළ යුතුය.

මෙහිදී යම් කණ්ඩායම්(Team), සංවිධාන(Organization) වලට ද විශාල වගකීමක් පැවරෙන්නේ තම ආයතනය මඟින් ප්‍රචාරය කරන වැඩසටහන් පිළිබඳ ව යම් ප්‍රමිතියක් පවත්වා ගැනීම මෙන්ම සම්බුද්ධ ධර්මයට පටහැනි කරුණු ඉදිරිපත් නොකිරීමට වගබලා ගැනීම යන අංශ වෙත අවධානය යොමුකළ යුතු බැවිනි. වෙනත් ආගම්වල මෙන් බෞද්ධ දර්ශනයේදී නීති රීති යොදා දඬුවම් කිරීමේ ක්‍රමවේදයක් නොමැති බැවින් ගිහි පැවිදි සියලු දෙනාගේ වගකීම වන්නේ තම තමන්ගේ ධාර්මික යුතුකම ඉටු කිරීමට ඇති වගකීම අවබෝධ කර ගැනීම ය.

ඇතැමකු මෙහිදී තර්ක කරනු ඇත්තේ අනිත්‍ය දුඞඛ අනාත්ම ත්‍රිලක්‍ෂණ මුල් කරගත් බෞද්ධ දර්ශනයේ දී යුතුකම් ඉටු කිරීමෙන් ඇතිවන ඵලය කුමක් ද කියා ය. නැතහොත් මෙලෝ පරලෝ වශයෙන් යමක් අත්පත් කර අයිතිය ලබා ගැනීමට විනා වෙනත් දෙයකින් ප්‍රයෝජනයක් නොවනු ඇත කියා ය. නමුත් බෞද්ධ දර්ශනය තරම් මෙලොව දියුණුව සලසා ගත හැකි ඒ සඳහා උපදෙස් ලබා දී ඇති ධර්මයක් තවත් නැත යන්න ගැඹුරින් අධ්‍යයනය කරන්නකු හට මොනවට පැහැදිලි වේ.

අනිත්‍යය නිවැරදි ව තේරුම් ගැනීම ම ජීවිතයේ පැවැත්ම හා යුතුකම් ඉටු කිරීමට උද්යෝගය ඇති කරයි. දුඞඛය ඇති බව දැනීමම සැපය ලබා ගැනීමට ඒ සඳහා යුතුකම් ඉටු කිරීමට මඟ පාදයි. මෙසේ සැම දේම බැලූ බැල්මට අසුබවාදී යැයි යමෙකු පෙන්වා දෙන්නට උත්සහ කළ ද ගිහි පැවිදි දෙපාර්ශ්වයට ම තම සංසාර ගමන නිවැරදි ව දකින්නට ඉඩ සලසා දෙන ඉතාම සුබවාදී දර්ශනය බුදු දහම බව කිසිදු තර්කයක් නැත. එය නිවැරදි ව තේරුම් ගෙන එදිනෙදා ජීවිතය සතුටින් ගත කිරීමටත් සෞභාග්‍ය ළඟා කරගෙන ධාර්මිකව පිරිපුන් ජීවිතයක් ගත කිරීමටත් හැකි වන්නේ සාරවත් දේ හා අසාරවත් දේ අවබෝධ කර ගන්නාට ය. එය ධම්ම පදයේ මෙසේ සඳහන් වෙයි.

“සාරංච සාර තෝ ඤත්වා
අසාරංච අසාරතෝ
තේ සාරං අධි ගච්ඡන්ති
සම්මා සංකප්ප ගෝචරර “

යහපත් අදහස් ගොදුරු කොට ගන්නෝ සරු දෙය ම ලබන්නාහු වෙත්.

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=10374

1 comments

  1. ඉතා වැදගත් කරුණු එකතුවක් . පින් සිදු වේවා !

Leave a Reply