සියලු ලෝසතුන් තුල ඇති “සැප කැමති බව” පිළිගැනීම මෙත් සිතේ පදනමයි. මෙත් වැඩීමෙහි දී එය හද පත්ලෙන් නැගෙන පැතුමක් බවට පත්වී “ සියලු සත්වයෝ සුවපත් වෙත් වා!” වැනි පද කීපයකින් නිකුත් වේ. ද්වේශය, ක්‍රෝධය, වෛරය වැනි සිත බැඳ තබන, සිත සිරකරන, සිත කිලිටි කරන හැඟීම් ජයගෙන නිර්මල සිතක විමුක්තියක් ඒ තුලින් අත්දැකිය හැකි වෙයි.
තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොවට හෙළිකර වඳාළ “මෙත්තා චේතෝවිමුත්තිය” ලාබාල දරුවෙකු විසිනුදු පුරුදු කළ හැකි සරළ භාවනාවකි. දිසා හඳුන්වන සම්මුති නාම නොදත් දරුවෙකුට පවා ‘උඩ – යට – සරස’ (උද්ධං අධෝ ච තිරියඤච ) වශයෙන් ස්ත්‍රීයෙක් හෝ වේවා, පුරුෂයෙක් හො වේවා මෙත්තා චේතෝවිමුත්තිය වැඩිය යුතුය යනු බුදුරජාණන් වහන්සේගේ අනුශාසනයයි.
පුද්ගල භේදය:– මෙත්තා චේතෝවිමුත්තිය පිළිබඳ බුද්ධ වචනය මෙසේ නමුත් අටුවා යුගයේ දී ඒකතු වුන සංකීර්ණ විවරණ මාර්ග නිසා මෙත්තා චේතෝවිමුත්තිය මුලුගැන්වෙන්නට විය. තමා, හිතවතා, මැදහතා, අහිතවතා යන පුද්ගල භේදයක් මත පදනම් වූ විග්‍රහයක ට කෙරෙන සීමා සම්භේදයකින් (සීමා බිඳීමකින්) මෙත්තා චේතෝවිමුත්තිය සැලසෙන බවක් අද බොහෝ භාවනා ඇදුරන් ‘ගුරු පොත’ලෙස සලකන විශුද්ධි මාර්ගයේ දැක්වෙයි. මෙත්ත සූත්‍රයේ අන්තර්ගතය හා කිසිසේත් ම නො සැසදෙන මේ විවරණ මාර්ගය, වැට කඩුලු තනමින් බිඳලමින් චේතෝවිමුත්තියක් වෙත ළංවීමට තැත් දරයි.
මේ විපරීත විවරණ මාර්ගයට හේතු වී ඇත්තේ මෛත්‍රිය සහ මිත්‍රත්වය අතර වෙනස වටහා නො ගැනීමෙන් වූ වැරදි ආකල්පයකී. ද්වේශයට ප්‍රතිවිරුද්ධ හැඟීමක් වූ පමණින් මෛත්‍රිය යනු මිත්‍රත්වය නොවේ. අද ඇතැමෙක් “මෛත්‍රිය වනාහි මිත්‍රත්වය” යන නිර්වචනයෙන් මෛත්‍රී භාවනාවට උපදෙස් දීම අරඹන්නේ මේ වචන දෙකෙහි භාහිරව පෙනෙන සමානත්වය දැඩිකොට ගැනීමෙනි.
මිත්‍රත්වවාචි “මිත්තතා” යන පදයත් මුදුමොලොක් බව හඟවන ‘මෙත්තා’ යන පදයත් උච්චාරනයේ දී තරමක් සමාන ලෙස පෙනෙතත් ඒ දෙපදය පටලවා නො ගත යුතු බවට “මෙත්තානිසංස”සහ “මිත්තානිසංස”යන සූත්‍ර දෙකම සාධකයකී. බුදුරදුන් ඉහලින් වර්ණනා කළ “මෙත්තානිසංස“සමග “මිත්තානිසංස“සැසදිය නො හැකි බව ඒ සුත්‍ර දෙක විමසා බලන්නෙකුට පැහැදිලි වනු ඇත.
1.මිත්‍රත්වය පෞද්ගලිකයි – මෛත්‍රිය පොදුයි
2.මිත්‍රත්වය අන්යෝන්‍යයි – මෛත්‍රිය විශ්වසාධාරණයි
3.මිත්‍රත්වය පටුයි – මෛත්‍රිය පුළුලයි
4.මිත්‍රත්වය බන්ධනයක් – මෛත්‍රිය විමුක්තියක්
5.මිත්‍රත්වයට දෙන්නෙක් අවශයයි – මෛත්‍රිය හුදෙකලාව වැඩිය හැකිය
6.මිත්‍රත්වය සීමිතයි – මෛත්‍රිය අසීමිතයි, අපරිමිතයි,විපුලයි, අප්‍රමාණයි.
.
Recent Comments