අභයගිරිය කැණීම්වලදී වසර 2000 ක්‌ පැරැණි හුණුගලින් නිමැ වූ සිරිපතුල් ගලක්‌ හමු වේ

http://www.divaina.com/2012/06/26/p5-1.jpgසිරිපතුල් ගලේ සුවිශේෂී ලක්‍ෂණ අභයගිරිය ස්‌ථූපයේ ස්‌ථානභාර නිලධාරී මෙත්තානන්ද හෙට්‌ටිපතිරණ මහතා විසින් පෙන්වූ අයුරු.මධ්‍යම සංස්‌කෘතික අරමුදලේ අනුරාධපුර අභයගිරිය ස්‌ථූප සංරක්‍ෂණ ව්‍යාපෘතිය මගින් එම ස්‌ථූපයේ ප්‍රතිසංස්‌කරණ කටයුතු අවසන් කිරීම සඳහා මේ දිනවල එහි සලපතල මළුවේ සිදුකෙරෙන කැණීම් වලදී වසර දෙදහසකට වඩා ඉපැරැණි හුණු ගලින් නිර්මාණය කරන ලද සුවිශේෂී සිරිපතුල් ගලක්‌ හමු වී තිබේ.

සියුම් ලෙස හුණුගලින් නිර්මාණය කරන ලද බොරදම් යෙදූ ආසනයක්‌ මත තැන්පත් කොට තිබියදී එය හමුවී ඇති බව අභයගිරිය ස්‌ථූප සංරක්‍ෂණ ව්‍යාපෘතියේ පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ මහාචාර්ය ටී. ජී. කුලතුංග මහතා “දිවයින”ට පැවසීය.

සිරිපතුල් ගල රඳවා තිබෙන බොරදම් සහිත ආසනය හා සිරිපතුල්වල පිහිටි ලක්‍ෂණ හා කැටයම් පිළිබඳව අධ්‍යයනය කිරීමේදී එය ක්‍රිස්‌තු වර්ෂය ආරම්භයේදී එනම් මීට වසර දෙදහසකට පමණ ඉහතදී නිර්මාණය කරන ලද ඒවා විය හැකි බවට අනුමාන කළ හැකි බවද මහාචාර්ය කුලතුංග මහතා පැවසීය. 

ක්‍රිස්‌තු වර්ෂ 411-413 පමණ කාලයේදී අභයගිරියේ වැඩවිසූ චීන ජාතික පාහියන් හිමියන්ට එවකට අනුරාධපුරයේ විසූ ජනතාව විසින් පවසා ඇති බව කියන ජනප්‍රවාදයෙහි සඳහන් තොරතුරුවලට අනුව පාහියන් හිමියන් විසින් රචනා කළ ග්‍රන්ථයෙහි බුදුරජාණන් වහන්සේ අනුරාධපුර පුණ්‍ය භූමියට වැඩම කර ඇති බවත්, එම අවස්‌ථාවේ උන්වහන්සේ සිරිපතුල තැබූ ස්‌ථානය මැදිකොට අභයගිරිය ස්‌ථූපය ඉදිකර ඇති බවටත් සඳහන් වන බව මහාචාර්ය ටී. ජී. කුලතුංග මහතා පැවසීය.

මේ අනුව මෑතකදී හමු වූ සිරිපතුල් ගල පාහියන් හිමියන් විසින් සිය ග්‍රන්ථයෙන් එළිදක්‌වා තිබෙන අදහසට බොහෝ දුරට අනුමාන කළ හැකි බවත් මීට පෙරද අභයගිරිය ස්‌ථූපයේ සලපතල මළුවේ ප්‍රතිසංස්‌කරණවලදී හමු වූ සිරිපතුල් ගලට වඩා මෑතකදී හමු වූ සිරිපතුල් ගලෙහි බොහෝ සෙයින් වෙනස්‌ කම් දක්‌නට ඇති බවත් ඒ මහතා කීය.

මේ අතර මෑතකදී හමු වූ සිරිපතුල් ගල තිබූ ස්‌ථානයට ඉතාම ආසන්නයේ තිබී හමු වූ අඩි අටක්‌ පමණ උසින් යුත් ඉපැරැණි හිටි බුද්ධ ප්‍රතිමාව මේ වන විට අනුරාධපුර පූජා භූමියේ පිහිටි මධ්‍යම සංස්‌කෘතික අරමුදලේ සංරක්‍ෂණාගාරයේ තබා සංරක්‍ෂණ කටයුතු කරගෙන යන බවත්, එම කටයුතු අවසන් වූ පසු එය හමු වූ ස්‌ථානයේම නැවත ස්‌ථානගත කොට මහජනතාවට වැඳුම් පිදුම් කිරීමට ඉඩ සැලසීමට පියවර ගෙන ඇතැයිද මහාචාර්යවරයා වැඩිදුරටත් පැවසීය.

අනුරාධපුර විශේෂ – පර්සි කුරුනේරු

.

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=13350

Leave a Reply