නව සොයා ගැනීමක් : ලක් ඉතිහාසය වසර 3750කට වඩා පැරණියි

August 26, 2011 at 5:16 pm | Lanka C News.

Source: through Chanaka Lasantha Nanayakkara

ශ්‍රී ලංකාවේ ජනාවාස ආරම්භය වසර 2500ක් නොව වසර 3750ක් තරම් වූ අතීතයට ගමන් කරන්නක් බවට මේවන විට සිදු කර ඇති පුරාවිද්‍යා කැණීම් මඟින් නිගමනය කළ හැකි බව කැලණිය විශ්වවිද්‍යාලයේ පුරා විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්ය රාජ් සෝමදේව මහතා පවසයි.

ඔහු ඒ බව සඳහන් කර සිටියේ මෙම වසරේ දී හල්දුම්මුල්ල ප්‍රදේශයෙන් සොයාගත් ඉපැරණි සුසාන භූමියත් සමගිනි. එම සොහොන් බිමේ ඔරුවක හැඩය ඇති මැටි බදුන්වල තැන්පත් කර තිබූ අප පැරැණ්නන්ගේ භෂ්මාවශේෂ හමුව ඇත.

ඒවා ‘කාබන් 4’ නැමැති දින වකවානු ගණනය කිරීමේ පරික්‍ෂාවට ලක් කර ඇති අතර එහිදී අනාවරණය කර ගැනීමට හැකියාව ලැබී ඇත්තේ අදාළ මැටි බදුන් වසර 3750ක් තරම් පැරණි බවටය.

අනතුරුව මෙම සුසාන භූමිය ආශ්‍රිතව ජනාවාසයක් ද අතීතයේ තිබෙන්නට ඇතැයි යන පදනම මත ඒ අවට ප්‍රදේශයන්වල ද කැණීම් කටයුතු සිදු කළ බව මහාචාර්ය රාජ් සෝමදේව මහතා පැවසීය.

ඒ අනුව මෙම ඉපැරණි සුසාන භූමියට මීටර් 100ක් පහලින් ජනාවාසයක් පැවති බවට විශ්වාස කළ හැකි ප්‍රදේශයක් සොයා ගැනීමට හැකිව තිබේ. එහිදී නිවාස දෙකක අඩිතාලම් හමුව ඇත. ඒ ආසන්නයේම තිබී මැටි බඳුන්, පින්තාරු කරන ලද මැටි බඳුන් සහ හදුනා නොගත් යකඩ නිර්මාණයක් ද සොයා ගැනීමට හැකියාව ලැබුණු බව මහාචාර්යවරයා කීය.

හල්දුම්මුල්ල ප්‍රදේශයේ සිදු කෙරෙන කැණීම් මගින් මේවන විට ජනාවාස පිහිටා ඇතැයි සැළකිය හැකි ස්ථාන 60ක් පමණ හමුව ඇත.

මෙම සුසාන භූමියේ කැණීම් කටයුතු සමග ශ්‍රී ලංකා ජනාවාස ආරම්භවීමේ ඉතිහාසය වසර 2500ක් නොව වසර 3750ක් දක්වා අතීතයට යන බවට තහවුරු කළ හැකිය.

එසේම රාජ් සෝම‍දේව මහතා කියා සිටියේ ගංගා නිම්න ආශ්‍රිතව අතීතයේ මානවය සිය ජනාවාස පිහිටුවා ගැනීමට ක්‍රියා කර ඇතැයි යන සංකල්පය ද මෙම කදු බෑවුම් සහිත ප්‍රදේශයේ සිදු කළ කැණීම්වලින් වෙනස්වන බවයි.

– Lankapuvath


Permanent link to this article: http://www.dhammikaweb.com/?p=10876

Leave a Reply