ලක්‌දිව, සම්බුදු සසුන සහ දේශපාලනය..

පූජ්‍ය වැල්ලයාවේ සුමනබෝධි හිමි

තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසිඅසංඛ්‍යය කල්ප ලක්‌ෂයක කාලයක්‌ පුරන ලද පාරමිතා බෙලෙන් අවබෝධ කොටගෙන දේශනා කරන ලද පරම නිර්මල ශ්‍රී සද්ධර්මය පිරිසිදුව සුරකින ලද්දේ ථේරවාදී සඟ පරපුර විසිනි. එයද මේ සිංහල දීපයෙහිය. එසේම සිංහල ජාතිය විසිනි. ඒ සිංහල ජාතිය තම උරුමයක්‌ සේ සලකමින් හා ථේරවාදී සඟ පරපුර තම දිවියද කැපකරමින් තෙවලා දහම රැකගත්තේය. එය ඉදිරියටත් එසේ මනාව සුරක්‌ෂිත කරනුයේ ඒ ආර්ය සිංහල ජාතියත් ථේරවාදී සඟ පරපුරත් විසින් බව නොකිවමනාය. එනමුත් එය කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳ පැහැදිලි දැක්‌මක්‌ පෙනෙන්නට නොතිබීම අභාග්‍යයකි. සංවේග උපදවනා දුබල බවකි. එබැවින් ඒ උතුම් බව රැකගනු වස්‌ බොදුනුවා කුමක්‌ කෙසේ කලයුතුද යන්න පහදා දීම මේ ලිපියේ අරමුණයි.

සිංහල ජාතිය පෝෂණය වුයේ බුදු දහම තුලිනි. බුදු දහමේ දැක්‌වෙන ධාර්මික වූ ආගමික, සංස්‌කෘතික, ආර්ථික, සාමාජයීය, දේශපාලනික දර්ශන පදනම් කරගනිමින් ඒවා තම දිවිය හා බද්ධ කරගනිමින් කටයුතු කිරීම හේතුවෙන් ඒ පෝෂණීය බව ජාතියට උරුම විය. එදා සිංහලයා ලෝකය දෙස බැලුවේ බුදු දහම තුලිනි. ආර්ථිකය දෙස බැලුවේ බුදු දහම තුලිනි. සංස්‌කෘතිය දෙස බැලුවේ බුදු දහම තුලිනි. දේශපාලනය දෙස බැලුවේද බුදු දහම තුලිනි. සදාචාරය, සභ්‍යත්වය දෙස බැලුවේද බුදු දහම තුලිනි. ඒ ඔහු එම ධර්මානුකූල දැක්‌ම නිසා ශික්‌ෂණයෙන් යුතු බවට පත්විය. ඒ ශික්‌ෂණයෙන් යුතු බවම ඒ සිංහලයාගේ පෝෂණීය බව විය. ඒ පෝෂණීය භාවය නිසාවෙන් කලගුණ දත්, මිත්‍රිශීලි, ආගන්තුක සත්කාරයෙන් අගතැන්පත් ශිෂ්ඨසම්පන්න භාවයට පත්විය. එනිසාම අතීත සිංහලයා කෙරෙහි කීර්තිමත් ගුණරාවයක්‌ ශේෂ විය. ඒ කීර්තිය, ඒ ගුණරාවය පසුපස සිටි නිර්මාපකයා නම් ථේරවාද බුදු සමයයි.

නමුත් මෑත අතීතයේ පටන් ඒ කීර්තිය ඒ ගුණරාවය වියෑකෙමින් පවතින බව නොරහසකි. ඒ ශිෂ්ඨසම්පන්න ජාතිය ලොව අශිෂ්ඨසම්පන්නම ජාතිය බවට පත්වුවා සේ හැඟෙන සිදුවීම්ද නැත්තේම නොවේ. එයට හේතුව නම් කුමක්‌ද?

එයට සෘජුව හේතුවූ ප්‍රධාන කාරනාව නම් අන් කිසිවක්‌ නොව බටහිරගැති චින්තනයයි. ඊනියා මිත්‍යාදෘෂ්ටික අශිෂ්ඨ වූ බටහිර චින්තය ඔස්‌සේ සිතන පතන මිනිසකු කෙසේ නම් ශිෂ්ඨසම්පන්න සම්‍යයක්‌දෘෂ්ටිකයකු බවට පත් වන්නේද? එය නම් ‘තල වපුරා මුං පලදාවක්‌ බලාපොරොත්තු වන්නා සේ’ කිසිදා සිදුනොවන්නකි.

මිනිසකු හික්‌මවන්නේ ඔහුගේ දර්ශනය මගිනි. මිනිසකු හසුරුවන්නේ ඔහුගේ දර්ශනය මගිනි. ඒ දර්ශනය ඒ දැක්‌ම හරසුන් දැක්‌මක්‌ නම් ඒ දැක්‌ම තුල හික්‌මෙන, ඒ දැක්‌ම තුල හැසිරෙන මිනිසා හරසුන් වූ හිස්‌ මිනිසකු වනු විනා මහා ශ්‍රෝෂ්ඨ දාර්ශනකියකු වන්නේ නැත. සෑම විටම ශේ්‍රෂ්ඨ මිනිසකු බිහිවන්නේ ශ්‍රෝෂ්ඨ දර්ශනයකිනි. ශ්‍රේෂ්ඨ දර්ශනයකින් හික්‌මුණු මිනිසාම ශ්‍රේෂ්ඨත්වයට පත්වේ. ඒ අනුව හිස්‌ වූ බටහිර දැක්‌ම තුළ හික්‌මෙන වර්තමානික සිංහල ජාතිය හිස්‌ වූ ජාතියක්‌ වීම අරුමයක්‌ නොවේ.

බටහිර දර්ශනය යනු කර්මය බැහැරකළ භෞතිකවාදී දේවවාදී දර්ශනයකි. ඒ තුලින් පෙන්වන්නේ ලෝකය අශාස්‌වත බවයි. එනම් මරණයෙන් පසු ජීවිතයක්‌ නැත යන්නයි. එයට ප්‍රධාන හේතුව නම් බටහිර දර්ශනයේ මනසක්‌ නොමැති වීමයි. මනසකින් තොර හුදෙක්‌ භෞතික කයක්‌ පමණක්‌ ඇති මිනිසා ඒ භෞතික කය බිඳී අවසානයේ සදහටම අවසන් වන බව විද්‍යාවේ අවසන් හරයයි. එය එසේ වන්නේ විද්‍යාව පදනම් කරගන්නේ යුදෙව් දහම වීමයි. යුදෙව් දහමින් දැනුම ලැබූ අය විසින් යුදෙව් දැක්‌මට පිටින් යථාර්ථයක්‌ දැකීම ‘අවු කණ්‌නාඩියකින් පාට බැලීමක්‌’ වැනි ප්‍රායෝගික නොවන්නකි. එබැවින්ම යුදෙව්වාදී බටහිර විද්‍යාඥයින් කරනු ලබන සෑම සොයාගැනිමක්‌ම යුදෙව් නීතියට පිටතින් නොයන සොයාගැනීම් වේ. එනම් මනසින් තොර භෞතික පර්යේෂණ වේ. ඒ සෑම සොයාගැනිමක්‌ම ආරම්බයක්‌ හා අවසානයක්‌ පමණක්‌ ඇති මිත්‍යා දර්ශනයන් පමණක්‌ම වේ.

ඒ මිත්‍යා දර්ශනය උතුම්කොටගත් නුවණැති යෑයි සිතන අනුවණයෝ බුදු දහම බහා තබා බටහිර දර්ශනය වැළඳ ගත්හ. ඉන් අනතුරුව මුළු දිවියම බටහිරකරණය විය. ගමන බිමන, ඇඳුම පැළඳුම, කතා බහ පමණක්‌ නොව චින්තනයද බටහිරකරණය විය. එයින් අනතුරුව එහිම එල්බගෙන කර්මය හා විපාකය බැහැර කිරීම හේතුවෙන් අකුසලයට ඇති ලඡ්ජා භය දුරුවිය. එසේම දීමෙහි විපාක නැත, යාගයෙහි විපාක නැත, හෝමයෙහි විපාක නැත, කළ හොඳ නරකෙහි විපාක නැත, මෙලොවක්‌ නැත, පරලොවක්‌ නැත, මවු ගුණ නැත, පිය ගුණ නැත, ඕපපාතික සත්වයෝ නැත, මෙලොව පරලොව තමන්ම දැනගෙන පවසන්නා වූ ශ්‍රමණ බ්‍රාහ්මණයන් නැත යන දසවස්‌තුක මිත්‍යාදෘෂ්ටියට පත්වුහ. ඒ මිත්‍යාදෘෂ්ටික වීමේ හා අකුසලයට ඇති ලඡ්ජා භය නැතිවීමේ විපාකය ලෙස වර්තමානික පිරිහුණු ජාතිය බිහිවිය. වැපුරුවේ අයහපත් බීජ බැවින් ලැබුණු පලදාවද අයහපත් වී තිබෙන මනාව දැකිය හැකිය.

එනමුත් දැන් සිදුවූ දේ සිදුවී හමාරය. ගෙවුණු අතීතය ගැන ශෝක කිරීමෙන් පලක්‌ නැත. නොපැමිණි අනාගතය පිළිබඳ ප්‍රාර්ථනාවෙන්ද පලක්‌ නැත. එබැවින් අනාගතය යහපත් කරගැනුමට වර්තමානය නිවැරදි කරගත යුතුය. වර්තමානය නිවැරදි කරගැනීම නම් යහපත් බීජය ඇද වපුලේ නම් යහපත් අනාගතය නම් වූ සරු ඵලය ලැබිය හැකිය.ඒ සඳහා අද කළ යුතුදේ අදම කළ යුතුමය.

කුමක්‌ කළ යුතුද?

පළමුකොටම බෞද්ධයන් විසින් බුදු දහම යනු ශ්‍රේෂ්ඨතම දහම බව වටහා ගත යුතුය. ඒ වටහාගැනීමෙන් යුතුව බුදුදහමේ දැක්‌වෙන දර්ශනය තුලින් ලෝකය දෙස බැලිය යුතුය. බුදු දහම ප්‍රායෝගික ජීවිතය හා බද්ධකරගත යුතුය. බුදු දහම හා බැඳුනු එදිනෙදා දිවියක්‌ සකස්‌කරගත යුතුය. එවිට ගිලිහි ගිය සංස්‌කෘතිය, සදාචාරය, සභ්‍යත්වය නැවත ගොඩනගා ගත හැකිවනු ඇත. එහිදී වර්තමානයෙහි ප්‍රධාන ගැටලුවක්‌ වී පවතින දේශපාලනය පිලිබඳ මෙසේ කිවයුතුව ඇත.

සෑම පුද්ගලයකුටම පෞද්ගලික දේශපාලන දැක්‌මක්‌ පවතී. එයට ගරුකළ යුතුය. එනමුත් එම දේශපාලන දැක්‌ම කුමක්‌ පදනම් කරගනිමින් ගොඩනඟා ගත්තක්‌ද යන්න විමසා සිටිය යුතුමය. ඒ ඔබගේ දේශපාලන දැක්‌ම හුදෙක්‌ ඔබගේ පෞද්ගලිකත්වය පදනම් වූ දැක්‌මක්‌ නම් එය හරාත්මක නොවේ. මුළුමහත් සමාජයේම සුභ සුද්ධිය පිණිස පවතින දැක්‌මක්‌ නම් යහපත් වේ. කෙසේ නමුත් සමාජයේම යහපත පිණිස පවතින දැක්‌මක්‌ යනු ධර්මානුකූල දැක්‌මකි. එනම් එකලාවම බුදුදහම තුලින් ගොඩනැගුනු දැක්‌මක්‌ විය යුතුය.

එහිදී ඇතැමෙක්‌ ජාතිය මුල්කොට ඇතැමෙක්‌ රට මුල්කොට ඇතැමෙක්‌ ආගම මුල්කොට දේශපාලනය කරනු පෙනෙයි. එහිදී බෞද්ධයකු වශයෙන් මෙසේ සිතිය යුතුබව සිතමි. එනම් අප සෑම සියලු සත්වයකුටම යහපත සලසා දෙනුයේ බුදු දහම තුලිනි. එබැවින් ඒ බුදු දහම සුරැකීම උදෙසා දේශපාලනයෙහි නිරත වන්නේ නම් එය ඉතා යහපත් බවයි.

සිතා බලන්න. වර්තමානික බෞද්ධයා දේශපාලන පක්‌ෂවලට ගැතිකම් පෑම නිසා පාලන තන්ත්‍රයේ පුද්ගල පරිවර්තනයන් කිරීම සුලබ දෙයකි. එනමුත් ඔවුන් එසේ පුද්ගල මාරුකිරීම් සිදුකරන්නේ එකම රථයේම නොවන්නේද? සරලවම පවසනවා නම් ‘එකම සෙක්‌කුවේ ගොනා මාරු කිරීම’ සිදුකරනවා නොවේද? පාලන තන්ත්‍රය ගමන් කරන්නේ එකම මාර්ගයකම නම් වෙනස්‌ කළ යුත්තේ පාලකයා නොව පාලන ක්‌රේමවේදයයි. එබැවින් ඒ ක්‍රමවේදය නිවැරදි කරගැන්ම කළ යුතුමය. එහිදී පෙර කියන ලද අයුරින් සම්බුදු සසුන සුරැකෙන දේශපාලන ක්‌රඑමයක්‌ උදෙසා කැපවිය හැකිනම් පක්‌ෂ දේශපාලනය නිසා අහිමිවන සම්පත් සුරකිමින් සම්බුදු සසුන චිරස්‌ථායි කළ හැකි නොවේද?

එහිදී සම්බුදු සසුන සුරැකීමට මේ රට සුරැකිය යුතුය. මේ රට සුරැකීමට ජාතිය සුරැකිය යුතුය. එනම් සම්බුදු සසුන සුරක්‌ෂිත වන්නේ ශ්‍රී ලංකාව නමැති පින් බිමෙහිය. ලොව වැඩිම සර්වඥ ධාතුන් වහන්සේලා වැඩසිටින්නේද ලක්‌දිවය. රුවන්වැලිසෑ චෛත්‍යරාජයාණන් වහන්සේ, ශ්‍රී මහා බෝධීන් වහන්සේ, දාඨා ධාතුන් වහන්සේ ඇතුළු පරම පූජනීය වස්‌තූන් වැඩසිටින්නේ ලක්‌දිවය. පිරිසිදු ථේරවාදය ඇත්තේ ලක්‌දිවය. එබැවින් සම්බුදු සසුන සුරකිනු වස්‌ ලක්‌දිව සුරැකිය යුතුමය. එසේම ලක්‌දිව හා බුදු දහම සුරැකෙන්නේ සිංහල ජාතිය නිසාය. ලොව සිංහලයාට ඇති එකම රට නම් ලංකාව පමණි. එබැවින් ඔහු ඒ රට සුරැකීම ඒකාන්තයෙන් කරනු ඇත. එසේම පිරිසිදු ථේරවාදී බුදු දහම උරුමයක්‌ සේ සුරකින ජාතියද සිංහල ජාතියයි. ඒ හේතු නිසාවෙන් බුදු දහම සුරකිනු වස්‌ සිංහල ජාතියද සුරැකිය යුතුය.

එසේ ජාතිය ද රටද සුරකිමින් සම්බුදු සසුන සුරකින යම් දේශපාලන ගමනක්‌ යන අයෙකු සිටිනම් ඔහු නායකත්වයට පත්කරගනු විනා පෞද්ගලික පරමාර්ථ මුල්කරගනිමින් දේශපාලනයෙහි නිරතවීම සම්බුදු සසුනට යහපත් නොවේ. එබැවින් ඔබට සැබෑවටම සම්බුදු සසුන සුරැකීමට අවශ්‍යතාවයක්‌ තිබේ නම් පළමුකොටම තමා බුදු දහම අනුව ජීවත්වෙන්න. දෙවනුව බුදුදහම තුලින් ලෝකය දෙස බලා තීරණ ගන්න. එවිට ඔබත් සම්බුදු සසුනත් නියතවම සුරැකෙනු ඇත. ඔබ සැමට තෙරුවන් සරණයි..!!!

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=21453

Leave a Reply