Buddhaghosa’s Incorrect Atuwa about Merit – Punnakiriya Watthu Sutta.

බුදුරජාණන් වහන්සේ  පින් අනුමෝදන් වීමක් ගැන වදාළේ නො මැත.

බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ පුණ්‍යක්‍රියා තුනට(දාන, සීල,භාවනා) බුද්ධඝෝෂ තව හතක් එකතු කර ඒ තුලට ජෛන ආගමේ එන පින්දීම සහ පින් අනුමෝදන් වීම ඇතුල් කර කළ විනාශය අද වනවිට ලංකාවේ බුදුදහම දේව ආගමක් දෙසට වේගයෙන් යමින් සිටී.

බුද්ධඝොෂ හිමියන්ගේ වැරදි දෝෂ සහිත අටුවාන් – පුඤ්ඤකිරිය වත්ථු සූත්‍රය

බුද්ධඝෝෂ හිමියන්ගේ පාළි අට්ඨ කථාවලට හෙළ අටුවාව මූලාශ්‍ර වූයේ නම් එම අට්ඨ කථාවල හෙළ අටුවා ගැන සඳහන් ව තිබිය යුතු ය. එවැන්නක් නො මැති නිසා බුද්ධඝෝෂගේ පාළි අට්ඨ කථා ඔහුගේ ම ස්වාධීන කෘති විය යුතු බව පෙනේ.

පාළි පිටක ග්‍රන්ථවල දී බුද්ධඝෝෂ විසින් එම සූත්‍රවලට තමන්ට අවශ්‍ය කරුණු බුදුන්ගේ ම නමින් එකතු කිරීම් මගින් තථාගත දර්ශනයට අයත් නොවන දෑ අඩංගු වී ඇති ආකාරය පෙනේ. මෙවැනි එක අවස්ථාවක් වශයෙන් අංගුත්තර නිකාය, ඇට්ඨක නිපාත, දාන වග්ග පුඤඤකිරිය වත්ථු සූත්‍රය (අංගුත්තර නිකාය, අට්ඨක නිපාතය, 4. දාන වර්ගය) දැක්විය හැකිය. මෙම සූත්‍රයෙහි දී බුදුන් වහන්සේ විසින් පුණ්‍ය ක්‍රියා වස්තු සංඛ්‍යාව, දාන, ශීල සහ භාවනා වශයෙන් තුනක් බවට කරන ලද ප්‍රකාශය බුද්ධඝෝෂගේ සූත්‍ර අටුවාවේ බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා දුන් පුණ්‍ය ක්‍රියා 3 ට අමතරව බුද්ධඝෝෂ විසින් තවත් පුණ්‍ය ක්‍රියා හතක් එකතු කර ඒ හත ඇතුලට පින්දීම සහ පින් අනුමෝදම් වීමත් ඇතුලත් කර ඇත. උපුටා ගැනිම එම් එම් ජේ මාරසිංහ මහතා විසින් රචිත බුදු දහම දේවාගමක් කිරීම කෘතියෙන්. අප බුද්ධඝෝෂගේ සූත්‍ර අටුවාව ගෙන මෙය ස්ථීර කර ගැනීම වටිනවා ( 1. පුණ්‍යක්‍රියාවස්තු සූත්‍ර වර්ණනාව තවත් පුණ්‍යක්‍රියා වස්තු හතක් ඇත. (ගුණවතුන්ට) පිදීම සමග යෙදුණු පුණ්‍යක්‍රියා වස්තුව, වතාවත් කිරිම සමග යෙදුණු පුණ්‍යක්‍රියා වස්තුව, පින්දීම, පින් අනුමෝදන් වීම, බණකීම, බණ ඇසීම, දෘෂ්ටිය නිවැරදි කරගැනීම යන පුණ්‍ය ක්‍රියා වස්තුය. සරණ ගමනයත් දෘෂ්ටිය නිවැරදි කරගැනීමෙහිම ඇතුළත් වේ. මෙහි කියයුතු දෙය අන් අයුරකින් ප්‍රකට වන්නේය. (අපරානිපි  සත‍්ත පුඤ‍්ඤකිරියවත්‍ථූනි – අපචිතිසහගතං පුඤ‍්ඤකිරියවත්‍ථු වෙය්‍යාවච‍්චසහගතං පත‍්තිඅනුප‍්පදානං අබ‍්භනුමොදනං දෙසනාමයං සවනමයං දිට‍්ඨිජුගතං පුඤ‍්ඤකිරියවත්‍ථූති. සරණගමනම‍්පි හි දිට‍්ඨිජුගතෙනෙව සඞ‍්ගය‍්හති. යං පනෙත්‍ථ වත‍්තබ‍්බං, තං පරතො ආවි භවිස‍්සති)

ඒ අතරේ බුද්ධඝෝෂගේ අභිධර්ම පිටක ධර්ම සංගණී අට්ඨ කථාවේ දී නො සලකා හරිමින් එම පුණ්‍ය ක්‍රියා වස්තු සංඛ්‍යාව දහයක් බවට වෙනස් කිරීමක් දක්නට ලැබේ. මේ අන්දමට බුදුවරයකුගේ ධර්මයන් වෙනස් කිරීමට භික්ෂුවකට තිබෙන අයිති ය කුමක් ද? අනික් කරුණ නම් එය බුද්ධ වචනය විකෘති කිරීමක් සේම බුදුන්ගේ දහමට අනවශ්‍ය ගැඹුරක් එකතු කරමින් අහිංසක බෞද්ධයන් බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා දුන් ප්‍රායෝගික දහම වෙනුවට බුදුරජාණන් වහන්සේ කිසිම දිනක පෙන්වා නොදුන් පින් දීම සහ පින් අනුමෝදන් වීම පැත්තට ගෙන යමින් ජෛන ආගමේ ඉගැන්වීම් බුදුහදම තුලට ඇතුල් කිරීමට බුද්ධගෝෂ ගත් උත්සාහයක්. එය අද වෙනකොට ලංකාවේ පැලපදියම් වී ඇති බව අප සැමට නො රහසකී. අද ඇතැම් ස්වාමීන් වහන්සේලා පවා බුදුරජාණන් වහන්සේ නො වදාළ මේ පින් දීම සහ පින අනුමෝදන් කරවීම කිසිම හිරිකිතක් නැතිව කරගෙන යන බව ඔබට වැටහෙනවා ඇත. 

එම නිසයි අප කියන්නේ මේ ශ්‍රී ලංකාදීපයේ අද වැඩියෙන් පවතින්නේ බුද්ධඝෝෂ දහම මිසක් පිරිසිදු වූ බුදුදහම නොවන බව. ඒ බව හොදින් ඉහත පුඤඤකිරිය වත්ථු සූත්‍රය සහ එම සූත්‍රයට බුද්ධඝෝෂ හිමියන් දුන් සූත්‍ර අටුවා පරීක්ෂා කිරීමේ දී පැහැදිලි වන්නේ. ඔබම අවබෝධයෙන් කියවා නියම බුද්ධ වචනය හඳුනා ගන්න. 

 

 

 

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=22779

Leave a Reply