පින්කම් හා ප්‍රාර්ථනා – උපුටා ගැනීම, වල්පොල රාහුල හිමියන් විසින් රචිත “සත්‍යෝදය කෘතියෙන්’
කියවන්නා: තමාට පින් බලාපොරොත්තුවෙන් යමක් කිරීම සම්පූර්ණ පිරිසුදු අදහසක් නො වන බවත්, ප්‍රාර්ථනා කිරීම, අන්තිම වශයෙන් නිවන් ප්‍රාර්ථනා කිරීම පවා බෞද්ධ අදහසක් නො වන බවත් ඔබ කියන්නෙහි ය. මෙය මට තේරුම් ගත නො හැක. කරුණාකර ඔබගේ අදහස පහදා දෙන්නෙහි ද?
කතෘ: ඔව් මම එය තෝරා දෙන්නට වෑයම් කරමි. නමුත් එය වචනයකින් දෙකකින් කළ හැක්කක් නොවේ. සත්‍යය සෙවීමේ අභිලාෂයෙන්, කිසිත් බැඳීමක් නැතිව, නිදහස් ව සාකච්ඡා කිරීමෙන් පසු නුවණින් සිතා බැලූ විට වැටහෙනවා ඇත. …………’මට නිවන් ඕනෑ’ යන අදහස ඉතා සියුම් ආත්මාශාවකි. ඒ ආත්මාශාව නැති කරන තුරු නිවන් අවබෝධ නොවේ.
කියවන්නා: ප්‍රාර්ථනා කිරීම බුද්ධාගමේ ඉතා බලවත් ධර්මයක් බවත්, ප්‍රාර්ථනා නො කරන්නාටනිවන් ලැබිය නො හැකි බවත් සමහරි ලියති, කියති. මේ ගැන ඔබගේ අදහස කුමක් ද?
කතෘ: එසේ කියන්නන් ධර්මය කෙබඳු දෙයක් දැයි නො දන්නා බැව් මම යටහත්ව කියමි. ආර්ය අෂ්ටාංගික මාර්ගය බුද්ධාගමේ නිවන් මගයි. එය සම්පූර්ණ මාර්ගයයි. එහි කිසිත් අඩුවක් නැත. ප්‍රාර්ථනා නො කරන්නාට නිවන් ලැබිය නො හැකි නම්, ප්‍රාර්ථනාව නිවන් මගෙහි ඉතාම අවශ්‍ය ප්‍රමුඛ අංගයක් විය යුතුයි. එසේ නම් එය සම්‍යක් ප්‍රාර්ථනා හෝ වෙන නමකින් ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහිදී බුදුරජාණන් වහන්සේ විසින් එක අංගයක් හැටියට දේශනා කළ යුතුයි. නමුත් ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි ප්‍රාර්ථනාව ගැන් කිසිත් සදහන්වී නැත. ප්‍රාර්ථනා නො කරන්නාට නිවන් ලැබිය නො හැකැයි උගන්වන්නෝ අබෞද්ධ මතයක් උගන්වති.
උවමනා කරන්නේ ප්‍රාර්ථනාව නොව ධර්මමාර්ගයෙහි ගමන් කිරීමයි.
ප්‍රාර්ථනාව නම් යාඥාවේම විකෘතියකි.
උපුටා ගැනීම වල්පොල රාහුල හිමියන් විසින් රචිත “සත්‍යෝදය කෘතියේ” පිටු අංක 28-38
Recent Comments