Insults to the Triple Gem – Sathyodaya: by Bhikkhu Walpola Rahula

ත්‍රිවිධ රත්නයට කරන අපහාස

අපේ රටෙහි දිනපතා සහ සතිපතා පවත්වන් ධර්ම දේශනාත්, පිංකමුත් සියදහස් ගණනක් වුවත්, හැම ගමක් පාසා ම වාගේ පන්සලක් ඇතත් අනුශාසක භික්ෂු පක්ෂය තිස් දහකට අධික වුවත්, චරිත ශුද්ධිය අතින් නම් සැලකිය යුතු කිසිත් දියුණුවක් ඇති බැව් නො පෙනේ. යළි, අපේ මේ “ධර්මදීපය” අපරාධ අතින් ජනානුපාතය අනුව නම් ලෝකයේ තුන්වැනි , හතරවැනි තත්වයට වැටී තිබේ. මෙහි රහස කුමක් ද? මෙයට හේතුව කුමක් ද?

මෙහි වරද එක පක්ෂයකට පමණක් පැවරීම සුදුසු නොවේ. ගිහි පැවිදි දෙපක්ෂම එකතු වී ආගමික කටයුතු පිළිවෙළ කණපිට පෙරළාගෙන ක්‍රියා කරති. ධර්මය බුදුරජාණන් වහන්සේ අදහස් කළ දෙය පිණිස නොව, තමතමන්ගේ පෞද්ගලික අදහස් පිණිස යොදති. මිනිසුන් දුසිරිතෙන් මුදා , සුසිරිතට යොමුකොට ධර්මය පුරුදු කරවීමේ පරමාර්ථයෙන් පටන් ගැනෙන ධර්ම දේශනාපළවල් කීයක් ඇත් ද?……

අද ධර්මදේශනාව ප්‍රතිපත්ති පිණිස නොව වෙන අයුතු දේ පිණිස යොදන බැවින් යටකී ප්‍රශ්නය පැන නගියි. ධර්මදේශනා පංතියක් සම්බන්ඳයෙන් මුද්‍රණය කරන ලද සමහර දැන්වීම් පත්‍රයක මුලින් ඒ බණ පිළිවෙළ පටන් ගන්නා ලද්දේ විහාරයක්, පන්සලක්, පොත්ගුලක් නැත්නම් බෝකොටුවක් හෝ දාගැබක් ගොඩ නැගීමට අධාර ගැනීමේ අදහසින් බැවි සදහන් වෙයි. මෙය කොතරම් කනගාටුදායක, අන්තරාකාරි වැරදීමක් ද? බුදුරජාණන් වහන්සේගේ ජීවිතය වැනි ප්‍රතිපත්තිය පිණිසම සොයන ලද ධර්මය, උන්වහන්සේගේ පයේ දූවිලි වැනි ආමිසය පිණිස යෙදීම කොතරම් ඛේදජනක ද? 

බණ ඇසීමට කියා එබඳු තැනකට එන්නවුන්ගේ ගුණධර්මය ගැන කිසිත් බලාපොරොත්තුවක් නැත. මේ සම්මාදම ගැනීමට, මුදල් සැපයීමට බණකීම උපායක් කරගෙන තිබෙන බැවින් ධර්මදේශනාවයයි නම් කරන ලද ඒ ව්‍යාජක්‍රියාව කෙළවර වන තුරු කාලය ගෙවා, දේශනාව අතරේ දී නැතහොත් අන්තයේ දී සම්මාදම් දී මිනිස්සු ආපසු එති. මෙහි තවත් අශෝභන දර්ශනයක් නම් භික්ෂූන් වහන්සේ ධර්ම දේශානාව කෙලවරකොට මිනිසුන්ගෙන් සම්මාදම ගන්නා තුරු සහ අද “ධර්ම පූජාව”යි වරදවා නම්කරන ලද කුලිය ගෙවන තුරුත් වාඩිවී බලාහිඳීම යි.

 

උපුටා ගැනීම වල්පොල රාහුල හිමියන් විසින් රචිත “සත්‍යෝදය කෘතියේ” පිටු අංක 17-18

සම්පූර්ණ සත්‍යෝදය කෘතිය

පාදක සටහන්:-

5. ලාභසක්කාර සංයුක්තයේ  (සංයුත්ත නිකාය) ,  සූත්‍ර ගණනාවකම තිබෙන්නේ  බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ “ලාභසත්කාර කීර්ති ප්රශංසා” පස්සේ ගොස් භික්ෂූන් ට වන අන්තරායන්

5.1.2. බළිස සූත්රය – 5. ලාභසක්කාර සංයුක්තය, නිදාන වග්ගය, සංයුත්ත නිකාය. මහණෙනි, යම් කිසි මහණෙක් උපන් ලාභසත්කාර කීර්ති ප්රශංසා ආස්වාද කෙරේ ද, කැමති වේ ද, මහණෙනි, මේ මහණ තෙමේ ගිලගත් බිළී ඇත්තේ දුකට පැමිණියේ වැනසුමට පැමිණියේ පවිටු මරු විසින් කැමති සේ කටයුත්තෙක් ය යි කියනු ලැබේ. මහණෙනි, ලාභසත්කාර කීර්තිප්රශංසා මෙසේ දරුණු ය, තියුණු ය, රළු ය, අනුත්තර වූ අර්හත්ත්වාවබොධය පිණිස අන්තරාය කර ය, මහණෙනි, එහෙයින් මෙහි මෙසේ හික්මිය යුතු: “උපන් ලාභ සත්කාරකීර්තිප්රශංසා දුරුකරන්නෙමු. උපන් ලාභසත්කාර කීර්තිප්රශංසා අපගේ සිත ක්ෂය කොට නොම සිටිනේ ය” යි. මහණෙනි, මෙසේ තොප විසින් හික්මිය යුතු මැ යි.

5.1.1. දාරුණ සූත්රය – 5. ලාභසක්කාර සංයුක්තය, නිදාන වග්ගය, සංයුත්ත නිකාය . මහණෙනි, ලාභසත්කාර කීර්තිප්රශංසා දරුණු ය, තියුණු ය, රළු ය, අනුත්තර වූ අර්හත්වාවබෝධය පිණිස අන්තරාය කර ය. එහෙයින් මහණෙනි, මෙහි මෙසේ හික්මිය යුතු: “උපන් ලාභසත්කාර කීර්තිප්රශංසා බැහැර කරන්නෙමු. උපන් ලාභසත්කාර කීර්තිප්රශංසා අපගේ සිත ක්ෂයකොට ගෙන නොම සිටිනේ” ය යි. මහණෙනි, මෙසේ තොප විසින් හික්මිය යුතු මැ යි.

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=22082

Leave a Reply