Sariyuth Maharahathan Wahanse – Ven Halmillare Nanda Thero

සැරියුත් මහරහතන් වහන්සේ

“සැරියුත් මහරහතන් වහන්සේ” යන නාමය ඇසුණු සැණින් අප මනස දිව යන්නේ විහාරගෙයි බුදුපිළිම වහන්සේගේ දකුණුපසින් වැඩ සිටින මහා ශ්‍රාවක පිළිම වහන්සේ වෙත ය. ගෞතම බුදුරජාණන් වහන්සේගේ අගසව් දෙනම වන්නේ සැරියුත් මහරහතන් වහන්සේත්, වම්පසින් මුගලන් මහරහතන් වහන්සේත් වැඩ සිටිති.

සැරියුත් මහ තෙරුන් උතුරු ඉන්දියාවේ රජගහ නුවරට නුදුරින් පිහිටි නාලක බමුණු ගමේ වංගන්ත බමුණාට දාව රූපසාරී බැමිණිය ගේ කුසෙන් ඉපිද “උපතිස්ස” යන නම ලැබුවේය. සාරී බැමිණිය ගේ පුත්‍රයා නිසා “සාරිපුත්ත” යන නමින් ද ප්‍රකට විය.

උපතිස්ස තෙමේ පසු කලෙක රජගහ නුවර ධර්ම ප්‍රචාරයේ යෙදුණු අස්සජි මහ තෙරුන් වහන්සේ දැක පැහැදී අවසානයේ දහම් ඇස පහළ කර ගත්තේය. අස්සජි තෙරුන් වහන්සේ දේශනා කළ සතර පෑ ගාථාවෙන් පළමු පද දෙක අසා අවසන් වනවාත් සමඟ ම සෝවාන් ඵලයෙහි පිහිටියේය. පසුව තම මිතුරා වූ කෝලිතට ද තොරතුරු දන්වා බුදුරදුන් වෙත ගොස් “ඒහි භික්ඛු” භාවයෙන් පැවිදි උපසම්පදාව ලැබුවේය. ඉන් සති දෙකක් ඇවෑමෙන් පසු බුදුරදුන් රජගහ නුවර ”සූකරඛත” ලෙනේ දී සැරියුත් මහ තෙරුන් වහන්සේගේ බෑණනුවන් වූ “දීඝනඛ” පරිබ්‍රාජකයාට දේශනා කළ ධර්මය අසා සියලු කෙලෙසුන් නසා මහරහත් භාවයට පත් විය. ඒ බව උන්වහන්සේ ථෙර ගාථා පාලියේ දී මෙසේ දක්වා තිබේ.

”භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අනිකෙකු හට ධර්මය දේශනා කළ සේක. ඒ ධර්ම දේශනාව යොමු කළ කන් ඇති ව ඉතා හොඳින් ශ්‍රවණය කළෙමි. එය හිස් එකක් නොවීය. ඒ දහම් ශ්‍රවණය කළ මම සියලු කෙලෙසුන් නසා මහරහත් බව ලැබුවෙමි.”

ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ මහා ප්‍රඥාසම්පන්න භික්ෂූන් අතුරින් අග්‍රස්ථානය ලබා ගත්තේ සැරියුත් මහරහතන් වහන්සේ ය. එසේ ම බුදුරදුන් ගේ දකුණත් සර්ව තනතුර දැරුවේ ද ගෞතම බුදු සසුනේ ධර්ම සේනාධිපති තනතුර දැරුවේ ද සැරියුත් මහරහතන් වහන්සේ ය. සැරියුත් මහරහතන් වහන්සේ ගේ චරිතය තුළින් යහ දිවියකට කැමති ඕනෑ ම පුද්ගලයෙකුට ගත හැකි ආදර්ශයන් බොහෝ ය. ඒ බව උන්වහන්සේ ගේ චරිතය විමසීමෙන් මනාව ප්‍රකට කෙරේ.

දිනක් සැරියුත් මහ තෙරුන් වහන්සේ බුදුරදුන්ට නුදුරින් භාවනානුයෝගීව වැඩ සිටි සේක. මෙය දුටු බුදුරදුන් මෙසේ වදාළහ. “මහා දැවැන්ත විශාල පර්වතයක් නිශ්චලව මහ පොළොවේ පිහිටා තිබෙන්නේ යම් සේ ද එපරිද්දෙන් මෝහය යළි ඇති නොවන ලෙස විනාශ කළ භික්ෂුව විශාල පර්වතයක් මෙන් කිසිම සෙලවීමකට පත් නොවී සිටින්නේ ය.” තවත් වරක බුදුරදුන් වදාළේ “මාගේ ධර්ම රාජ්‍යයෙහි සේනාධිපති සැරියුත් මහ තෙරුන් වහන්සේ” බවයි. මෙසේ සැරියුත් මහ රහතන් වහන්සේට ගෞතම බුද්ධ ශාසනය තුළ ලොව්තුරා බුදුරදුන්ගේ අග්‍ර ශ්‍රාවක වීම, මහා ප්‍රඥාසම්පන්න භික්ෂූන් අතුරින් අග්‍රස්ථානය ලැබීම, ධර්ම සේනාධිපති වීම යන මෙකී ප්‍රධාන ස්ථානාන්තර තුනක් ලැබී තිබුණි.

දිනක් රජගහ නුවර වාසය කරන එක්තරා දුගී මිනිසෙක් අන් සතු අඹ උයනක් රැකබලා ගනිමින් සිටියේය. සැරියුත් තෙරුන් වහන්සේ දහවල් වේලෙහි මෙම උයන සමීපයෙන් වැඩම කළහ. තෙරුන් වහන්සේ දුටු එම මිනිසා මහ තෙරුන් උයනට වැඩම කරවා තේරුන් ගේ කැමැත්ත අනුව පොකුණෙන් දිය ගෙන නහවා පොකුණෙන් පැන් ගෙන පෙරා පානයට සුදුසු ලෙස සකස් කර පිළිගැන්වීය. අනතුරුව තෙරුන් වහන්සේ පැන් පූජාවේ අනුසස් ප්‍රකට කර දහම් දෙසීය. පසු කලෙක එම සැදහැති පින්වත් පුරුෂයා මිය පරලොව ගොස් කළ පින්කමට අනුව තව්තිසා දෙව්ලොව දෙවියන් අතර බබලමින් අප්‍රමාණ දිව්‍ය සම්පත් ඇති ව උපත ලැබුවේය.

තවත් දිනක සැරියුත් තෙරුන් වහන්සේ විහාර මළුවේ සක්මන් කරමින් වැඩ සිටියහ. උන්වහන්සේට නොදැනුවත්ව ම අඳනයේ කෙළවරක් බිම ගෑවෙමින් තිබුණි. මේ බව දුටු සත් හැවිරිදි සාමණේර නමක් ඒ බව දැක තෙරුන් වහන්සේ වෙත පැමිණ එය පෙන්වා දුන්නේය.

එය ඉතා ගෞරවයෙන් පිළිගත් සැරියුත් තෙරුන් වහන්සේ අඳනය සකසා හැඳ සාමණේරයන් වහන්සේ වෙත පැමිණ “ආචාරිනී, අඳනය සකසා ගත්තෙමි. දැන් හොඳදැ”? යි ඇසූ සේක. “ස්වාමීනි, දැන් නම් හොඳය” යි සාමණේර නම කීවේය. එවිට සැරියුත් මහ තෙරුන් වහන්සේ “එදින ම පැවිදි බව ලබා ගත් සත් හැවිරිදි සාමණේර නමක් වුවත් මා හට අනුශාසනා කළේ නම් ඒ සත් හැවිරිදි කුඩා සාමණේර නමගේ අනුශාසනය පවා මම හිස් මුදුනින් පිළිගන්නෙමි” යි පවසා ඒ සාමණේර නමට ස්තූති ප්‍රශංසා කළ සේක. මෙය සැරියුත් මහ තෙරුන්ගේ නිහතමානී ගුණය මැනවින් ප්‍රකට කරවන කතා පුවතකි.

සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිස විනය ශික්‍ෂා පණවන ලෙස පළමුව ඉල්ලා සිටියේ ද සැරියුත් තෙරුන් වහන්සේ ය. මෙසේ සම්බුද්ධ ශාසනයට ඉතා ලැදිව කටයුතු කළ මුන්වහන්සේට “උපසේන, චුන්ද, රේවත” යනුවෙන් සොහොයුරෝ තිදෙනෙක් වූහ. මේ තිදෙනාම බුදු සසුනේ පැවිදි බව ලැබ රහත් වූහ. “චාලා, උපචාලා, සිසූපචාලා” යනුවෙන් සොහොයුරියෝ තිදෙනෙක් ද වූහ. මේ සැමත් බුදු සසුනේ පැවිදි බව ලැබ රහත් වූහ. හැම අතින් ම පැහැදීම් ඇති භික්ෂූන් අතුරින් උපසේන තෙරුන් අග්‍ර වූ අතර ආරණ්‍යවාසී භික්ෂූන් අතුරින් අග්‍රස්ථානය ලැබුවේ රේවත තෙරුන් වහන්සේ ය. මෙසේ සැරියුත් මහ තෙරුන් වහන්සේ ගේ සහෝදර, සහෝදරියන් සියල්ල ම මග ඵල නිවන් අවබෝධ කර ගෙන සිටියත් මව වූ රූපසාරි බැමිණිය මිසදිටු ගෙන සිටියාය.

සැරියුත් තෙරුන් වහන්සේට කලින් කල හට ගන්නා උදරාබාධයක් විය. මෙය අවස්ථා කිහිපයකදී ම හට ගත් අතර අවසානයේ එය ඉතා දරුණු ලෙස හට ගත්තේ ය. මෙයට හේතු විමසා බැලූ තෙරුන් වහන්සේ දුටුවේ තමන් වහන්සේ ගේ අවසාන සමය ළඟා වී ඇති බව යි. අගසව්වන් බුදුරදුන්ට පළමුව පිරිනිවන් පාන බව දුටු උන්වහන්සේ බුදුරදුන්ගෙන් පිරිනිවන් පෑමට අවසර ගෙන තමන් වහන්සේගේ උපන් ගම වූ නාලක ගමට වැඩම කළහ. ඒ වෙන හේතුවක් නිසා නොව පිරිනිවන් පෑමට පෙර තමන් වහන්සේ ගේ මව වූ රූපසාරී බැමිණිය සම්මාදිට්ඨියට ගැනීමේ අරමුණ ඇතිව ය.

කෙසේ හෝ වේවා අවසානයේ නාලක ගමේ දී දෙව් බඹුන්ගෙන් වන්දනාමාන මහා සත්කාර ලබන සිය පුත් සැරියුත් මහ තෙරුන් වහන්සේ ගැන පැහැදීම ඇති වූ කල්හි තෙරුන් වහන්සේ නව අරහාදී බුදු ගුණ ප්‍රකට කරමින් ධර්මය දේශනා කළ සේක. දේශනාව කෙළවර රූපසාරී බැමිණිය උතුම් වූ සෝවාන් ඵලයට පත් වූවාය. අනතුරුව රැස්ව සිටි භික්ෂූන් ප්‍රධාන සියලු දෙනාට ධර්මය දේශනා කර දකුණු ඇලයෙන් සැතපී පිළිවෙළින් ධ්‍යානයන්ට සම වැදී අනතුරුව අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පෑ සේක.

පසුව උන්වහන්සේ ගේ ශ්‍රී ශරීරය ආදාහනය කළහ. ආදාහනයෙන් පසුව ශේෂ වූ අස්ථි ධාතු චුන්ද තෙරුන් වහන්සේ බුදුරදුන්ට භාර කළේය. බුදුරදුන් එම ශාරීරික ධාතු පිළිගෙන සැරියුත් තෙරුන් වහන්සේ ගේ ගුණ නොයෙක් ලෙසින් ප්‍රකට කර එම ධාතු නිදන් කර සෑයක් ද කරවූහ.

ධර්මාශෝක මහාධිරාජයා සමයේ දී මොග්ගලීපුත්තතිස්ස තෙරුන් ගේ උපදෙස් මත සැරියුත් තෙරුන් ගේ එම ධාතු ස්තූපය විවෘත කරවා ධාතු ගෙන දඹදිව ස්ථාන කිහිපයක ස්තූප කරවීය. ඒ සෑම තැනක ම මුගලන් මහ රහතන් වහන්සේගේ ද ධාතු තැන්පත් කෙරිණි. මහා ප්‍රඥා සම්පන්න භික්ෂූන් අතුරින් අගතැන්පත් දම්සෙනෙවි සැරියුත් මහ රහතන් වහන්සේ මෙසේ වදාරති.

”මේ මුළු සම්බුද්ධ ශාසනයේ ම බුදුරජාණන් වහන්සේට පසුව ප්‍රඥාවෙන් අග්‍රස්ථානයේ සිටින්නේ මම යි. මට සමානයෙක් මේ බුද්ධ ශාසනයේ පෙනෙන්නට නැත.”

බළංගොඩ මස්සැන්න

ශ්‍රී දේවගිරි මහා විහාරවාසී,

හල්මිල්ලාරේ නන්ද හිමි

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=9646

2 comments

    • namal on August 12, 2011 at 9:23 pm
    • Reply

    සාධු සාධු සාධු……. මේ ලිපි ඉදිරිපත්  කරන ඔබවහන්සේලාට මේ පින චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝදය පිණිසම හේතු වාසනා වේවා ……….

    • jayasri on March 21, 2013 at 5:05 am
    • Reply

    සාධු සාධු සාධු……. මේ ලිපි ඉදිරිපත්  කරන ඔබවහන්සේලාට මේ පින චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝදය පිණිසම හේතු වාසනා වේවා ……….

Leave a Reply