«

»

Feb 12

Print this Post

බුද්ධ ධර්මය සහ මනෝවෛද්‍ය විද්‍යාව – 13 ,

 මනෝරංග චිකිත්සාව

– දිනක් රොමේනියානු ජාතික මනෝවිකිත්සක ජේකොබ් ලෙව් මොරෙනෝ (Jacob Levy Moreno) වියනාවේ උද්‍යානයක් මැදින් ඇවිදිද්දී ළමුන් පිරිසක් එකතු ව යම් කටයුත්තක යෙදෙනු දුටුවේ ය. මේ තරම් උනන්දුවකින් ළමුන් කුමක් කරත්දැයි කුතුහලයෙන් බලා සිටි මොරේනෝ ඔවුන් එ තැනදී එවේලේම සම්මත කරගත් කතන්දර ජවනිකාවක් රඟපාන බව වටහා ගත්තේ ය.

සාමාන්‍යයෙන් කතන්දරයක් අසනවිට හෝ කියවන විට හෝ නො දැක්වූ උනන්දුවක් එම රංගනයෙහි යෙදෙන විට ඔවුන් දැක්වූ බව ද මොරේනෝ වටහා ගත්තේය. රංගනයේදී ප්‍රකාශනය වූ චිත්ත වේගවල ගැඹුරු බව, මොරේනෝ මවිතයට පත් කළේය. මනෝචිකිත්සක ක්‍රමයක අවශ්‍යයෙන්ම තිබිය යුතු එ වැනි ගති ලක්ෂණ රාශියක්ම ළමුන්ගේ එම රංගනය තුළ දුටු මොරේනෝ එ දින නිවස බලා පිය නැගුවේ, තමා නවතම මනෝචිකිත්සක ප්‍රතිකාරයක් සොයා ගත් බව කල්පනා කරමිනි.

මේ සිද්ධිය වූයේ 1920 වර්ෂයේදීය. මොරේනෝගේ කල්පනාවලියේ ප්‍රතිඵලය වූයේ වියනාවේ ස්ටෙග්ග්‍රෙට් රඟහලෙන් නව චිකිත්සක ක්‍රමයක් බිහි වීමයි. මොරේනෝ එය ‘මනෝරංග‘ නමින් හැඳින්වී ය.

ලෝකයේ බොහෝ රටවල මනෝවෛද්‍ය ඒකකවල සමූහ මනෝචිකිත්සක ප්‍රතිකාරයක් (Group Psychotherapy) වශයෙන් ,ශතවර්ෂයක් පමණ පැරණි මෙම මනෝරංග ප්‍රතිකාරය විශේෂයෙන්ම බාහිර රෝගීන් වෙනුවෙන් ලබා දෙන සැසි පැවැත්වෙයි. කොළඹ ජාතික රෝහලද ගාල්ලේ කරාපිටියේ ශික්ෂණ රෝහල ද එවැනි ප්‍රතිකාර සැසි පවත්වා ඇත. ගාල්ලේ කරාපිටියේ මනෝ වෛද්‍ය ඒකකයේදී පුරා වර්ෂ 20 ක පමණ කාලයක් තිස්සේ, සෑම සතියක ම සෙනසුරාදා මමෝරංග වෙනුවෙන් පැය දෙකක් වෙන් කර තබන ලදී. මීට අමතරව බූස්සේ බන්ධනාගාරයේදී ද,හේමාස් සදර්න් රෝහලේදීද, කොළඹ ‘දම්රිවි’ පදනමේදී ද වරින් වර මනෝරංග සැසි පවත්වන ලදී.

ඉහත සඳහන් සෑම මනෝරංග සැසි සඳහා මා තේමා තෝරා ගත්තේ පන්සිය පනස් ජාතක පොතෙහි කථාවලින් පමණි. මනෝරංග අධ්‍යක්‍ෂණය කිරීමේදී මා ලත් අත්දැකීම් පිළිබඳ විස්තර 2000 දී මා ලියු “ජාතක කථා පිළිබඳ මනෝවෛද්‍ය විද්‍යාත්මක කරුණූ “ (Psychiatric Aspects of Jataka Stories) ග්‍රන්ථයෙහි සහ 2012 දී මා ලියූ ජාතක ගීත සංග්‍රහය ග්‍රන්ථයෙහි ඇතුළත් වෙයි.

අවශ්‍යතා

මනෝරංග චිකිත්සාව සඳහා අවශ්‍යතා පංචකයක් මොරේනෝ විස්තර කර ඇත. ඒ මෙසේ ය.

1.අධ්‍යක්ෂක-
2.ප්‍රධාන චරිතය
3.සහායක චරිත-
4.පේ‍්‍රක්ෂක පිරිස

5. වේදිකාව-අධ්‍යක්ෂක සාමාන්‍යයෙන් චිකිත්සකවරයා ම ය.තේමාව තෝරා ගනු ලබන්නේ යමකු වෙනුවෙන් ද එම පුද්ගලයා ප්‍රධාන චරිතය යි. සාමාන්‍යයෙන් රෝගීහු කිහිප දෙනෙක් මාරුවෙන් මාරුවට ප්‍රධාන චරිතය රඟපාති. කථාවේ විවිධ චරිත රඟපාන අය සහායක චරිත වෙති. අපේ ඒකකයේ බාහිර සහ නේවාසික රෝගීහු ඔවුන්ගේ නෑදෑයෝ ,වෛද්‍ය, වෘත්තීය චිකිත්සක මනෝවිද්‍යාඥ, වෛද්‍ය ශිෂ්‍ය සහ ස්වේච්ඡා පිරිස් සහායක චරිත අතර වූහ. ඔවුන් අතරින් රඟපෑමට තෝරා ගනු නො ලැබූ අය පේ‍්‍රක්ෂක පිරිස ලෙස පිළිගනු ලැබූහ. මොරේනෝගේ අවශ්‍යතා පංචකයේ පස්වැන්න වූයේ අචේතනික වේදිකාවයි. අපේ ඒකකයේ පේ‍්‍රක්ෂක පිරිස කවය මැද භූමි කොටස වේදිකාව වශයෙන් පිළිගැනිණි.

අවස්ථාව

මනෝරංග සැසිය අවස්ථා තුනකින් සමන්විතය එනම්.

1. උත්ක්‍රමණය
2. රංගනය
3. ප්‍රතිපෝෂණය

උත්ක්‍රමණය

උත්ක්‍රමණය යනුවෙන් මොරේනෝ අදහස් කෙළේ බොහෝ කාර්යයන් ආරම්භ කිරීමට පෙර සූදානමක් හැටියට කරනු ලබන ක්‍රියාවලියයි. ක්‍රිකට් පිතිකරුවකු පිටියට පා නගන්නට පෙර පන්දුවට පහර දෙන්නාක් මෙන් පිත්ත හසුරුවන ලීලාව, සමහරුන් වැදගත් ලියවිල්ලකට අත්සන යෙදීමට පෙර පෑන හසුරුවන ලීලාව සහ මෝටර් රථයේ එන්ජිම ධාවනාරම්භයට පෙර රත් කරනු ලබන ආකාරය උත්ක්‍රමණයට උදාහරණය.

මනෝරංග සැසියේ ආරම්භයට පෙර සහභාගි වන අය ඔවුනොවුන් හඳුන්වා ගනිමින්ද චිකිත්සකවරයා සමග කතා බස් කිරීමෙන්ද විනාඩි කිහිපයක් ගත කිරීම සිරිතකි.

රංගනය

අධ්‍යක්‍ෂකවරයා, සහභාගි වන අයකුගේ, විශේෂයෙන් ම ප්‍රධාන චරිතය රඟපාන්නාගේ, අතීත අත්දැකීමක් හෝ මෑතකදී පළ වූ පුවත්පතක වාර්තා වී තිබෙන සිද්ධියක් හෝ, මමෝරංග තේමාව හැටියට තෝර ගනියි.තේමා පිළිබඳ මොරේනෝ පවසා ඇත්තේ, ඒ ඒ රටවල ලියැවෙන විවිධ කථා වස්තුන් එම රටවල සංස්කෘතියට ගැළපෙන අන්දමින් මනෝරංග සඳහා උපකාර කරගත හැකි බවයි. කිසිදු ආගමික හෝ ජාතික හෝ වෙනසක් නැතිව අප රටෙහි සංස්කෘතියට සෑම අතින්ම ගැළැපෙන කථා වස්තුන් ඇතුළත් වන්නේ පන්සිය පනස් ජාතක පොතෙහි ය.

සාමාන්‍ය පුද්ගලයෙකුගේ අතීත අත්දැකීම් සහ පුවත්පත් වාර්තා සියල්ලටම වඩා හරවත් රසවත් එමෙන්ම නාට්‍යමය ගුණාංග සපිරි, ජාතක කථා මමෝරංග තේමා සොයන චිකිත්සකවරයකුට සපයන්නේ සීමාරහිත උපකාරයකි.

තේමා කථාව තෝරා ගැනීමෙන් පසු අධ්‍යක්‍ෂකවරයා එය පිරිසට විස්තර කර පහදා දිය යුතුය. ජවනිකාවක් විස්තර කළ යුත්තේ මෙහිදී සහ දැන් (Here and Now) යන පදවලින් මොරේනෝ යෝජනා කළ වර්තමාන කාලය හඟවන බසිනි. උදාහරණයක් වශයෙන්, භීස පුෂ්ප ජාතකය විස්තර කරන විට බෝධිසත්වයන් වහන්සේ එක් දවසක් එක් පොකුණක් දැක ඒ පොකුණෙහි නාන්නට බැස නාන සේක් එක් පියුමක් දැක” යනුවෙන් අතීත සිද්ධීන් පොත කියවා විස්තර කිරීමෙන් පසුව අධ්‍යක්‍ෂකවරයා කිව යුත්තේ “බෝසතාණන් වහන්සේ දැන් පොකුණ දකියි, මෙන්න පොකුණ,! වතුර මේ මට්ටමට ඇත! එ තුමා දැන් පොකුණට බසියි. අර තිබෙන්නේ පියුම! යනුවෙනි. අධ්‍යක්‍ෂකවරයා ද පොකුණට බසින ආකාරය රඟ පා නො පෙනෙන වතුර මට්ටම ද පෙන්වා, සිසිල දැනෙන බවක් ද පෙන්වීම සුදුසු ය. ඒ අතරම බෝසත් තුමා දිව්‍යාංගනාව සහ සාහසිකයා, ඔවුන් පිළිබඳ වාක්‍ය කියවන විට, පිරිස අතරින් තෝරා වේදිකාව මැදට පමුණුවා ලීම කළ හැක.මෙ වැනි කාර්යයන් සඳහා පොතපතින් දැනුම ලැබීම පමණක් නො සෑහෙයි. පිහිනීමට මෙන් මනෝරංග අධ්‍යක්ෂණයට ද ප්‍රායෝගිකව පුහුණුව ලැබීම අවශ්‍යය.

රංගනය කළ යුත්තේ කෙසේ දැයි මොරේනෝ දීර්ඝ විස්තරයකින් පෙන්වා දුන්නේය. මෙම විස්තරයට රංගන ක්‍රම 20 ක් ඔහු යෝජනා කෙළේය.ඉන් කිහිපයක් මෙසේය.විවිධ චරිත නිරූපණය චරිත මාරුව ද්විත්ව නිරූපණය දර්පණකරණය අනුකෘතිය හිස් අසුන සහ විනිද්‍රා රංගනය මීට අමතරව, මනෝරංග ක්‍රම බොහෝ සංඛ්‍යාවක් අධ්‍යක්‍ෂණය කරන විට මොරේනෝගේ ක්‍රම ලැයිස්තුවට අප එකතු කෙළෙමු.

ප්‍රතිපෝෂණය

රංගනය අවසන් වූ වහා ම ප්‍රතිපෝෂණය ආරම්භ වෙයි. මොරේනෝ මෙම අවස්ථාව “ පශ්චාත් රංගන ප්‍රකාශනය” යනුවෙන් හැඳින්වූයේද ප්‍රකාශනය වාචික ව හෝ අවාචිකව හෝ කරනු ලැබේ. අධ්‍යක්‍ෂකවරයා, සහභාගි වූ සැමට තම තමන්ගේ හැගීම් සහ අදහස් ප්‍රකාශනය කිරීමට ආරාධනා කරයි. අක්‍රියව මනෝරංග නැරඹූ අයටද එහි වේදිකාගත සිද්ධීන් මානසිකව බලාපාන බව මොරේනෝ පෙන්වා දුන්නේය. සක්‍රිය චරිත සමග තදාත්මීකරණය වීම (Identification) මීට හේතුවකි. නරඹන අතර ජනිත වී එතෙක් සිතෙහි තදකොට රඳවාගෙන තුබුණු හැඟීම් මෙම අවස්ථාවෙහි අපසර්ජනය (Abreaction) මගින් ප්‍රකාශනය ආතති සහනය වෙයි.මෙම සහනය රඳා පවතින්නේ තේමාව සහ රඟපෑමේ දක්ෂතාව මතය. රඟපෑම් සහ අධ්‍යක්‍ෂණය විවේචනය කිරීමද මේ අවස්ථාවේ සිදුවෙයි.

සාර්ථකත්වයට හේතු සාධක

1967 දී ජෙරම් ෆ‍්‍රෑන්ක් සාර්ථක මනෝචිකිත්සක ප්‍රතිකාර ක්‍රමයක අඩංගු විය යුතු සාධක අටක් පෙන්වා දුන්නේය. ඒ මෙසේ ය. කථා කිරීම සහ සවන් දීම චිත්තවේග ප්‍රකාශනය, දැනුවත් කිරීම, මානසික තත්ව අර්ථකථනය සඳහා සම්මත ක්‍රමවේදයක පිහිටීම,ආත්ම විශ්වාසය නංවාලීම,ව්‍යංගය, උපදේශනය සහ චිකිත්සකවරයා සහ රෝගියා අතර ඵලදායි අන්‍යෝන්‍ය සම්බන්ධතා ඇති කිරීම

නිසි තේමාවක් පදනම් කරගෙන නිසි අධ්‍යක්‍ෂණයෙන්, මනෝරංග ප්‍රතිකාර ක්‍රමය තුළින් ඉහත සඳහන් සාධක සියල්ලම මානසික රෝගින් සුවපත් කිරීම සඳහා දියත් කිරීමට චිකිත්සකවරයාට හැකිවෙයි.

මෙම සත්කාර්යය සඳහා මනෝචිකිත්සක ජේකෝබ් ලෙවි මොරේනේගේ සිද්ධාන්ත මතම පිහිටා, එහෙත් එතුමා නො කියවු අපේ පන්සිය පනස් ජාතක පොත පමණක් තේමා සපයා ගැනීමට යොදා ගත හැක්කේ ඇයි දැයි, මී ළඟ බුදුසරණ ලිපියෙන් පහදා දෙන්නෙමි.

මනෝ වෛද්‍ය විශේෂඥ
ඩී.වී.ජේ. හරිශ්චන්ද්‍ර

 

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=14464

1 comment

  1. chathurika sandamali

    godak wadagath lipiyak.me hamadeyakama awasanaya ape budun wahansege sri saddharmaya minisun winiwida dakimai,mata hithena hatiyata.me darma danamaya pinkama hamotama nivana dakwama hethu wasana wewa.theruwansaranai………..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

Facebook Auto Publish Powered By : XYZScripts.com