කඨින පින්කම

චීවර මාසය හෙවත් කඨින වස්ත්‍ර පූජා පින්කම් ඇරැඹීමට ඇත්තේ තව දින කීපයකි.

අපේ රටේ වෙහෙර විහාරස්ථානවල වැඩ සිටින පූජනීය උපසම්පදා මහ සඟරුවන වෙත දායක පින්වතුන් මෙවරත් කළ වස් ආරාධනාව පිළිගෙන ඒ ඒ විහාරස්ථානවල වස් එළඹ වැඩ සිටිති.

එසේ වස් එළඹ වැඩ සිටින ගරුතර මහ සඟරුවනට සිව්පසයෙන් උපස්ථාන කළ දායක දායිකා පිරිසට මහත් සතුටත්, සැනසීමත් ගෙන දෙන අසිරිමත් පුන්‍ය කාලයකි මේ.

වස් ආරාධනා කිරීමේ පින්කම ශාසන ඉතිහාසයෙහි සඳහන් වන ඓතිහාසික පින්කමකි. එමෙන්ම ජීවමාන බුදුරජාණන් වහන්සේ දවස පටන් පැවැත එන ශාසනික සම්ප්‍රදායකි.

එදා රාජ රාජ මහාමාත්‍යාදීන් බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සඟරුවනට වස් ආරාධනා කර සිව්පසයෙන් ඇප උපස්ථාන කළ ආකාරය ද බොදුනුවාට සිහිපත් කරවන පින්බර සමයකි මේ.

කලක සිට පෙරුම් පුරා මහ දාගැබක් ඉදි කළා යැයි සිතමු. එසේ ඉදි කළ දා ගැබෙහි කොත් වහන්සේ පැළැඳවීමට මහ පින්කම් සමුදායක් සිදුකැරෙන උතුම් අවස්ථාවකි.

එමෙන් කැපකරු දායක පිරිස මහත් ගරුසරු ඇතිව තම විහාරස්ථානයේ වස් වසා වැඩ සිටීමට මහ සඟරුවනට ඇරැයුම් කර දිනපතා වස් කාලය පුරා උන්වහන්සේට ඇප උස්ථාන කරති. එමෙන්ම දිනපතා බුද්ධ වන්දනා බෝධි වන්දනා, ධර්ම දේශනා ආදිය ඇතුළත්ව විවිධ පින්කම් සිදු කරති.

ගිහිපැවිදි දෙපාර්ශ්වය මහත් ගෞරවයෙන් විවිධ පින්කම්හි නිරත වෙමින් තම තමන්ගේ ආධ්‍යාත්මික ගුණවගාව පෝෂණය කරගන්නා සමයකි.

තෙමසක් පුරා මෙසේ සිදු කළ ආගමික වතාවත්වලින් අනතුරුව එළඹෙන පසළොස්වක පෝදා සිට තවත් සුවිශේෂී පින්කමකට සූදානම් වෙති.

කලක් පුරා මෙසේ වර්ධනය කර ගත් පින්කම් මාලාවේ අවසන් මහ පින්කම හෙවත් වටිනා පින්කම වන කඨින පින්කම සිදු කිරීමට සූදානම් වීමයි.

කඨින පින්කම දුර්ලභ මහ පින්කමක් වන නිසාම විහාරස්ථ දායක දායිකා සියලු දෙනාම ඊට දක්වන්නේ මහඟු සහයෝගයකි.

ඒ මගින් ගමේ සමගිය, සුහදතාවය තවත් වර්ධනය වේ. ගමේ පන්සල ගමටම දහම් මිහිර බෙදාදෙන කේන්ද්‍රස්ථානය වේ. එමෙන්ම එවන් වාර්ෂික මහ පින්කම නිසාම ගිහි පැවිදි දෙපක්ෂයම ආධ්‍යාත්මික ගුණ වර්ධනය කර ගන්නා අතරම පෞරාණික බෞද්ධ සංස්කෘතික උරුමය ද ආරක්ෂා කර ගැනීමට සමත්වේ.

විහාරස්ථානයේ කඨින පින්කම නිමිත්තෙන් පැවැත්වෙන පරිත්‍රාණ ධර්ම දේශනාව සඳහා ඉදිකැරෙන පිරිත් මණ්ඩපය ගමේ තරුණ පෙළ ඒකරාශි වී ඉදි කිරීමෙන් හෙළ කලාවටද ශක්තියක් උදාවේ.

පන්සලේ දී සිදු කැරෙන එවන් කටයුතු ලොකු කුඩා සියලු දෙනා දැක බලා ගැනීමෙන් පෞරාණික සම්ප්‍රදායන් ආරක්ෂාවීමට මහඟු දායකත්වයක් ලබා දෙනු ලැබේ.

කඨින පෙරහර ගම පුරා වීථී සංචාරය කිරීමෙන්ද ගමේම ලොකු කුඩා සියලු දෙනා ඊට සහභාගි වීමෙන්ද පෙර කී පරිදි ගම්වැසියන් තුළ සුහදතාවය තව තවත් වර්ධනය කැරේ.

එමෙන්ම දායක පිරිසෙහි ශක්ති පමණින් විහාරස්ථානයේ නව විහාරාංග ඉදිකරවීමටද ඇතැම්විට උත්සාහ කිරීමද බෙහෙවින් අගය කළ යුතුය.

කෙසේ වුවද හාර මාසයකට ආසන්න කාලයක් පුරා ගිහි පැවිදි දෙපක්ෂයම මහත් ඇප කැප වීමෙන් සිදුකරන කඨින පින්කම ජීවිතයේ කිසිදාක අමතක නොවන මහ පින්කමක් බවට පත් කර ගැනීමට උනන්දුවෙමු. එවිට මේ වසරේ සිදු කැරෙන එම මහඟු පින්කමට නොදෙවැනි මහ පින්කම් ලබන වසරේද පූජනීය මහ සඟරුවනෙහි අනුශාසනා පරිදි සිදු කරගත හැකි වනු ඇත.

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=14061

Leave a Reply