දේශයේ මුර දේවතාවනි ජාතියේ උත්තමාචාරය ඔබටයි ! උපන් බිමේ විරුවෝ

උදා වූ නිදහසේ ගෞරවය විරෝදාර රණවිරුවන්ටයි -ජයග්‍රහණය සදානුස්මරණීයයි

ශ්‍රී ලංකා භූමිතලය අරක්ගත් ලෝකයේ දරුණුම ත්‍රස්තවාදියා හා දරුණුම ත්‍රස්තවාදී ව්‍යාපාරය යුදමය වශයෙන් පරාජය කොට තෙවසරක් ගතවී අවසානය. දැන් ත්‍රස්තවාදය සිරිලක් පොළෝ තලයෙන් මුළුමනින්ම අතුගෑවීගොස් ඇත. අද හමුදාවේ ගිනි අවි නිසලය.

එහෙයින් සමහර උගතුන් පවා තවමත් සිතන්නේ සතුරාට එරෙහිව ගිනි අවිය පණ ගැන්වීම පමණක් යුද්ධය බවයි. එහෙත් එය ත්‍රස්ත මර්දන ක්‍රියාවලියේ එක් අංගයක් පමණකි. මේ ත්‍රස්තමර්ධනයට එරෙහි සමස්ත ක්‍රියාදමය තිස්වසරක් තිස්සේ හා ඉන්පසුවත් වර්ධනය වූවකි.

සැබවින්ම 2005 දෙසැම්බර් මස මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා ජනාධිපතිධූරයට පත්වන විට එල්. ටී. ටී. ඊ ත්‍රස්තවාදි ක්‍රියාදාමය තිස් වසරක් තිස්සේ ඇදීගොස් තිබිණි. ඒ වන විට උතුරු නැඟෙනහිර විශාල ගොඩබිම් ප්‍රදේශයක් හා වෙරළ තීරයෙන් 2/3 ක බලය මුළුමනින්ම එල්. ටී. ටී. ඊයට නතුව තිබිණ. රජයට, හමුදාවට හෝ පොලීසියට එහි බලයක් නොවීය.

වෙනම රාජ්‍යයක් ගොඩනැඟීම සිය පරම අභිලාෂය කරගත් එල්. ටී. ටී. ඊ. නායක ප්‍රභාකරන් ත්‍රස්ත හමුදා කඳවුරු හා පොලිසි අටවමින් සිය බල ප්‍රදේශය තහවුරු කරගනිමින් සිටියේය. ඒ අනුව ත්‍රස්ත සන්නද්ධ බලකායට සාමාජිකයන් බඳවා ගැනීම, පුහුණුව ලබාදීම, අවි ආයුධ සපයාගැනීම දිගටම සිදුවිය.

සටන් විරාමයට පූර්වයෙන් හා පසුවද වෙඩි උණ්ඩයේ සිට ගුවන්යානා නාශක මිසයිලය හා නෞකාවන් දක්වා ඔවුන් සතුව තිබී අල්ලාගත් අවි ආයුධ තොග ශ්‍රී ලංකා හමුදා යුද ශක්තියට සමානවූවක්ම විය. මින් මනාව පැහැදිලි වූයේ යුද්ධයෙන් පමණක්ම වෙනම රාජ්‍ය දිනාගැනීම ඔවුන්ගේ එකම අරමුණ වූ බවය.

කුඩා සංවිධානයක් ලෙස ඇරැඹි ත්‍රස්තවාදය මහා ව්‍යාපාරයක් බවට පත් වෙමින් එල්. ටී. ටී. ඊයේ යුද පුහුණුවලත් පිරිස 30,000ක් පමණ විය. සටන්විරාම ගිවිසුමෙන් ඔවුන්ගේ ක්‍රියාදාම මර්දනය වූ සෙයක් පෙනුනද සටන් විරාමයට මෙන්ම සාම සාකච්ඡාවලට ධ මුවාවී හොර රහසේම යුද ශක්තිය තර කර ගැනීම ඔවුන්ගේ උපක්‍රමය විය.

මේ වන විට ඔවුන් උතුරු – නැඟෙනහිරට පමණක් සීමා නොවී බස්නාහිර පළාත හා කඳුකරය ප්‍රමුඛ සෙසු පෙදෙස්වලටද රිංගා ගෙන තිබිණ.

සටන්විරාමය ඔවුහු සිතුසේ උල්ලංඝනය කළහ. එය 3000 වාරයකට වඩා උල්ලංඝනය කර ඇති බව සටන්විරාම නිරීක්‍ෂකයෝම ප්‍රකාශ කළහ. රජයේ පාර්ශවයෙන් එය උල්ලංඝනය වී තිබුණේ 300 වාරයක් පමණි.

එයද සාකච්ඡා මාර්ගය ඔවුන් මුළුමනින්ම බැහැර කර ඇති බව ප්‍රත්‍යක්ෂ වූ විටය. එල්. ටී. ටී. ඊ. යේ සටන් විරාම උල්ලංඝනයන් ශ්‍රී ලංකා හමුදාව ඉවසා සිටියද සටන්විරාම නිරීක්‍ෂකයන්ට ඒ බව වාර්තාකරනු හැර කළ හැකි අන් දෙයක් නොවීය.

2005 වත්මන් රජය බලයට පත්වන විට පූර්වප්‍රාප්තික ජනාධිපතිවරුන් සිවුදෙනකු හා ආණ්ඩු කීපයක් විසින්ම එල්. ටී. ටී. ඊ. ත්‍රස්තවාදය මැඩලීමට දරන ලද ප්‍රයත්නයන් සියල්ල අසාර්ථක වී තිබිණ. හමුදා මෙහෙයුම්, සාම සාකච්ඡා හා අන්තර්ජාතික මැදිහත්වීම් ඇතුළු දරන ලද හැම ප්‍රයත්නයකින්ම ඵලක් වී නොතිබිණ. ගෝලීය වශයෙන් විශාල මූල්‍ය ජාලයක් හා වර්ධිත ප්‍රහාරාත්මක හැකියාවක් සමඟින් සාමය කෙරේ අල්පමාත්‍ර නැමියාවක් නොතිබුණු එල්. ටී. ටී. ඊය සිත්සේ ක්‍රියා කරන, දඩබ්බර, එදිරිවාදී, බිහිසුණු සතුරකු බවට පත්ව තිබිණ.

ඔව්හු උතුරින් හා නැඟෙනහිරින් සිංහල හා මුස්ලිම් ජනතාව පලවාහරිමින් වාර්ගික යුද්ධයක නියැලී සිටියහ. තර්ජිත ගම්මාන හා රටපුරා සාමාන්‍ය වැසියන්ට ප්‍රහාර එල්ල කළහ. එමගින් දහස් ගණනක් සමූල ඝාතනය කළහ.

දළදා මාළිගය හා ශ්‍රී මහා බෝධිය වැනි බෞද්ධ පූජනීය ස්ථාන පමණක් නොව මුස්ලිම් පල්ලිවලට පවා පහර දුන්හ. අන්තර්ජාතික ගුවන්තොටුපොළ, මධ්‍යම බස් නැවතුම්පොළ වැනි ජාතික යටිතල ව්‍යුහයන් හා මහබැංකුව, ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය වරාය ඇතුළු ආර්ථික කේන්ද්‍රයන් පවා ඔවුන්ගේ ඉලක්ක විය.

මේවායේදී පාර්සල් බෝම්බ, මෝටර්් රථ, බෝම්බ හා ක්ලේමෝ බෝම්බ යොදාගනිමින් සිය දහස් ගණන් අසරණ වැසියන් ඝාතනය කළහ. මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයන් සම්බන්ධයෙන් ඔවුහු කෙළ පැමිණියහ.

මේ අතර දේශපාලන ඉලක්කයන් සපුරාගැන්මටද නොපසුබට වූ එල්. ටී. ටී. ඊය ශ්‍රී ලංකා ජනාධිපති හා ඉන්දීය අගමැති ඝාතනය කළේය. මෙරට ආරක්ෂක ඇමැති, විදේශ ඇමැති හා තවත් කැබිනට් ඇමැතිවරුන් කීප දෙනෙකු මෙන් ම දේශපාලන නායකයින් හා පාර්ලිමේන්තු මන්ත්‍රීන්ද ඔවුහු ඝාතනය කළහ.

ත්‍රස්ත අපරාධ හා දූෂණ ක්‍රියා සමඟ අත්වැල් බැඳගත් පාතාලයද බලවත් විය. නීතිය හා සාමය පිරිහිණි. මුළු රටම භීතියෙන් ඇලලිණ. අදාළ තිස් වසර තිස්සේ පැවති රජයයන්ට එල්. ටී. ටී. ඊ. ත්‍රස්තවාදය පාලනය කළ නොහැකි වීමෙන් ඔවුන් කිසිදාක හමුදාමය වශයෙන් පරාජය කළ නොහෙන බව රජයේ හමුදාවේ හා බහුතර මහජනතාවගේ ද මතය වී තිබිණ.

“ත්‍රස්තවාදියා” හා “ඒකීය රාජ්‍ය” යන වචන මිමිනීමට පවා දේශපාලනඥයින් පමණක් නොව ජනතාවද බිය වී තිබිණ. මෙවන් වාතාවරණයක් යටතේ හමුදාමය මැදිහත්වීමක් ගැන සමස්ත සමාජය මෙන්ම නායකයන්ද සිතන්නටවත් නොපෙළඹී තිබිණ.

හමුදාවට නිරන්තරයෙන්ම ලැබුණේ ඔවුන් අධෛර්යමත් කෙරෙන උපදෙස්ය. ඒ අනුව එල්. ටී. ටී. ඊ.ය හා හමුදා නායකත්වය අතර සම්බන්ධීකරණ සාකච්ඡා සඳහා උපදෙස් ලැබිණ. ඊනියා දේශසීමාවේදී දෙපාර්ශවයම මසකට වරක් හමුවෙමින් සටන් විරාමය ඉදිරියට ගෙනයන අයුරු සාකච්ඡා කළහ.

2005 දී මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා බලයට පත්වන විට රටේ පැවති තත්ත්වය මෙසේ විය. එල්. ටී. ටී. ඊ. යෙ ආඥාදායක හා රුදුරු ත්‍රස්ත හස්තයේ පීඩනයට ගොදුරු ව සිටි සිංහල හා දෙමළ අසරණ ජනතාව මුදා ගැන්ම ජනාධිපතිවරයාගේ ප්‍රමුඛ කාර්ය බවට පත්ව තිබිණ. ත්‍රස්තවාදය ශ්‍රී ලංකා භූතලය මතින් සදහටම අතුගා දමා රටට සාමය උදාකිරීම සඳහා ඔහුට විශාල ජනවරමක්ද ලැබී තිබිණ.

මේ නිසා ජනාධිපතිවරයා මුලින්ම කළේ අඩාලවී තිබුණු සාම සාකච්ඡා යළි පණ ගන්වමින් එල්. ටී. ටී. ඊ. යට සෘජු සාකච්ඡා සඳහා ආරාධනා කිරීමය. මෙහිදී සුපුරුදු පරිදි කුපිතකිරීම් උත්සන්න කරමින් සටන් විරාමය උල්ලංඝනය කරනු හැර සාකච්ඡා මාර්ගයේ ඵල නෙලාගැනීමට ඔවුහු අවධානය යොමු නොකළහ.

කැබිතිගොල්ලෑවේ ප්‍රහාරයෙන් කුළුගැන්වුණු රට පුරා සිදු කළ ප්‍රහාරවලින් හමුදා නිලධාරීන් ළමයින් හා කාන්තාවන් ඇතුළු සිය ගණන් පිරිස් යළි ඝාතනය විය.

කෙසේ වෙතත් රජය මේ සියලු කුපිතකිරීම් ද ඉවසා සිටියද එහි සීමාව ඉක්මවාගියේ මාවිල්ආරු සොරොව්ව එල්. ටී. ටී. ඊ. ය විසින් වසා දැමීම සමඟය. එය නැගෙනහිර, ප්‍රමුඛ පෙළේ වාරිමාර්ග ඇළක් වූ අතර මේ අමානුෂික ක්‍රියාවෙන් අක්කර දහස් ගණනක කෘෂිබිම්වලට පමණක් නොව පන්දහසකට වැඩි පවුල් සංඛ්‍යාවකට අවශ්‍ය ජල සැපයුම අත්හිටුවිණ.

මෙය මහා මානුෂික ව්‍යසනයක් වනු වැළැක්ම රජයේ කාර්යභාරය වූයෙන් හමුදා මෙහෙයුමකින් ජල දොරටුව විවෘත කිරීමට වහා පියවර ගැනිණ. 2006 මානුෂීය මෙහෙයුමේ පළමු වෙඩිමුරය පත්තුවූයේ එපරිද්දෙනි.

2005 ට පූර්වයෙන් හමුදා මෙහෙයුම් ජයග්‍රහණයේ මුවවිටට පැමිණි පසු පවා ඒවා වැළකුණේ බාහිර සාධකයන් බලපෑමෙනි. මේ බාහිර සාධක ඉදිරියේ පසු නොබාන හා එල්. ටී. ටී. ඊයේ අපරාජිකත්වය පිළිබඳ මානසිකත්වයෙන් ජනතාව මුදාගෙන හමුදාවේ විශ්වාසය තහවුරු කෙරෙන නායකත්වයක් රටට අවශ්‍යව තිබුණු අතර මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාගෙන් ඒ අපේක්ෂාවන් කුළුගැන්විණ.

මහජන සහාය නොමැතිව යුද්ධයක් ජයගත නොහැකිය. එහෙයින්ම ජනතාව කෙරෙහි හමුදාමය ජයග්‍රහණයක විශ්වාසය තහවුරු කිරීම අවශ්‍ය විය. නොඑසේනම් හමුදා සෙබළුන් හා සිවිල්වැසියන් බිල්ලට දෙනු හැර සිදුකරන දෙයක් නැතැයි යන පූර්ව චෝදනාව වත්මන් රජයටද එල්ලවීමට ඉඩතිබිණ. මේ අනුව ජනතා විශ්වාසය දිනාගැන්මට ජන මානසිකත්ව මුළුමනින්ම වෙනස් කළ යුතුවිය.

මෙහිදී ඊට පිටුබල වූයේ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ නොසැලෙන අධිෂ්ඨානය හා කැපවීමය. ඔහුගේ ක්‍රියාකලාපයෙන් ත්‍රස්තවාදය දුරැලීම කෙරේ ඇති කැපවීම නොසැලෙන්නක් බව හමුදාව මෙන්ම ජනතාවද වටහා ගත්හ. එය මානුෂීය මෙහෙයුමේ ආරම්භයේ සිට අවසානය තෙක්ම නොවෙනස්ව පැවතිණ.

යුද සමයේ අන්තර්ජාතිකව නැගුණු බලපෑම් ඉදිරියේ ඔහු ඉන්ද්‍රඛීලයක් විය. අද ද එවන් බලපෑම් නිරතුරුවම සිදුවෙමින් පවතී. මේ අන්තර්ජාතික ප්‍රජාව ලෙස හඳුන්වන පිරිස එම ප්‍රජාව නියෝජනය කරන බහුතරය නොවේ. එහෙයින්ම එම වචනය පොදුවේ භාවිතා නොකළ යුත්තකි. දකුණු හා අග්නිදිග ආසියාතික රටවල් මෙන්ම චීනය හා රුසියාවද ශ්‍රී ලංකාවේ පවත්නා තත්ත්වය මැනවින් වටහාගෙන තිබිණ. එහෙයින්ම ඔවුහු එල්. ටී. ටී. ඊ.යේ පරාජයට සහාය පල කළහ.

අන්තර්ජාතික ප්‍රජාව ශ්‍රී ලංකාවට බලපෑම් කරන්නේ දශක ගණනාවක් තිස්සේ එම රටවල ද්‍රවිඩ ඩයස්පෝරාව එල්. ටී. ටී. ඊයෙන් පාලනය වූ බැවිනි. ද්‍රවිඩ ඩයස්පෝරාව එම රටවල පුරවැසියන් බවට පත්වෙමින් ඡන්දබලයට පවා හිමිකිම් කියන බැවින් හා ඔවුන්ගේ ඡන්දය එම රටවල රාජ්‍ය බලය තීරණය වීමටද බලපාන බැවින් ඔවුන් එම ආණ්ඩුවලට බලපාන බල වේගයක්ව පවතී.

ඔවුන් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මවාපාන සාවද්‍ය චිත්‍රය එලෙසින්ම පිළිගන්නා මේ රටවල් හා රාජ්‍ය නොවන සංවිධාන දැන් එ. ජා. සංවිධානය හරහා අපට බලපෑම් කිරීමටද පෙළඹී තිබේ.

ශ්‍රී ලංකාවේ පිහිටීම හා පවත්නා ස්වාභාවික සම්පත් ආදිය මත න්‍යාය පත්‍ර සකසාගත් සමහර රටවල් මානෂීය මෙහෙයුම අතරතුරදී එය අත්හිටුවා එල්. ටී. ටී. ඊය සමඟ සාකච්ඡා කරන ලෙස බලපෑම් කළද අතීත අත්දැකීම් මත එය හුදු මිත්‍යාවක් බව වටහාගෙන සිටි ජනාධිපතිවරයා ඊට නොනැමී, ගත් ස්ථාවරයෙහිම ගැලී සිටියේය.

මේ අනුව ප්‍රභාකරන් හා සෙසු එල්. ටී. ටී. ඊ නායකයන්ට පලායාමට හෝ යටත්වීමට අවස්ථාවක් සලසාදීම අපොහොසත් වූ මේ විදේශ බලවේගයන් දැන් යුද අපරාධ හා මානවහිමිකම් උල්ලංඝනය පිළිබඳ චෝදනා නගමින් ශ්‍රී ලංකාවෙන් පලිගැනීමට උත්සාහ දරමින් සිටී.

කෙසේවෙතත් අර්බුද අවස්ථාවන්හි වහා ඊට ප්‍රතිචාර දැක්වීමට පෙළඹීමෙන් ජනතා විශ්වාසය දිනාගැන්මට ජනාධිපතිවරයා සමත්විය. එල්. ටී. ටී. යේ ගුවන් බලය, කොළඹ හා අවට ජනතාවට මෙන්ම අගනගර මර්මස්ථානයන්ට තර්ජනයක් වූ අවස්ථාවේ ඊට එරෙහිව කටුනායක පිහිටවනු ලැබූ නව ගුවන් ආරක්ෂණ පද්ධතිය ජනාධිපතිවරයා පෞද්ගලිකවම පරීක්‍ෂා කරනු ලැබීය.

මානුෂීය යුද මෙහෙයුමේ තොප්පිගල වාකරේ කිලිනොච්චි ආදී යුද පෙරමුණුවල ජයග්‍රහණයන් හිදී සෙසු ප්‍රදේශවල යුද්ධය පවතිද්දීම ජයග්‍රාහී හමුදා පෞද්ගලිකව මුණගැසී ඔවුන් දිරිමත් කිරීම ජනාධිපතිවරයාගේ පුරුද්ද විය.

මේ යුද ජයග්‍රහණයට විනයගරුක හමුදාවක පැවැත්ම බෙහෙවින්ම ඉවහල් විය. විනයක් නැති හමුදාවකට යුද්ධයක් ජයගත නොහැකිය. ශ්‍රී ලංකා හමුදාව කෙතරම් විනයගරුක වී ද යත් මානුෂික මෙහෙයුමේ කිසිම අවස්ථාවක ගම්මානවලට ඇතුළු වී හමුදා බලපරාක්‍රමය මතින් අහිංසක වැසියන් ඝාතනය කිරීම හෝ ස්ත්‍රී දූෂණයන් සිදුකිරීම හෝ වෙනත් අපරාධ සිදුකළ බවට හෝ චෝදනාවක් නොනැගිණ.

එහෙත් යම් විටෙක හොරකමක් හෝ ඒ හා සමාන සිද්ධියකින් විනය කඩවීමක් වී නම් චූදිතයන්ට එරෙහිව වහා පියවර ගැනිණ. එවන් අය වහා අත්අඩංගුවට ගැනිණ.

යුද මෙහෙයුම දැඩි අවධානයට ලක්ව තිබුණු නිරීක්‍ෂකයන්, මාධ්‍ය හෝ සෙසු පුද්ගලයන් කෙරෙන් හමුදාවට එරෙහිව කිසිදු චෝදනාවක් නොනැඟිණි. යුද්ධයේ උච්චතම අවස්ථාවකදී ඉබාගාතේ යන වෙඩිල්ලක් පුද්ගලයකු බිලිගැන්ම හෝ රෝහලකට වැදීම හෝ යුද අපරාධයක් නොවේ.

ලොව කිසිම තැනක යුද්ධයකදී අනුගමනය නොකෙරුණු නීති රීති සමුදායකට යටත්ව ශ්‍රී ලංකා යුද මෙහෙයුම ක්‍රියාත්මක විය. හිතුමතයේ ක්‍රියාකරන නොහික්මුණු ත්‍රස්තවාදීන් පිරිසක් සමඟ පවත්නා සටනක් වුව, සාමාන්‍ය ජනතාවට අවම හානිය ගෙන දෙන අයුරින් යුද මෙහෙයුම පවත්වා ගෙන යනු ලැබිණ. මේ නිසාම යුද මුක්ත කලාප හා ආරක්ෂිත කලාප වෙන් කෙරිණි. ඒවාට සාමාන්‍ය ජනතාවට පැමිණීමට හැකිවිය.

එපමණක් නොව බර අවි භාවිතය හා ගුවන් ප්‍රහාර සම්බන්ධයෙන් පැවති සීමාවන්ද එලෙසින්ම අනුගමනය කෙරිණි. මෙවන් ස්වයං සීමා බන්ධන පනවා ගැන්මක් ලොව කොතැනක හෝ සිදුව නැත. එ. ජා. ප්‍රඥප්තියකින් හෝ වෙනත් ආකාරයකින් හෝ එවන් සීමා පැනවීමක්ද සිදුව නැත. එවන් වාතාවරණයක ශ්‍රී ලංකා හමුදාව ස්වයං සීමා බන්ධන පමුණුවාගත්තේ සාමාන්‍ය වැසියන් හානියට පත්වීමෙන් වළකාගැනීමේ පියවරක් වශයෙනි. එය ප්‍රසාදයට ලක්විය යුත්තක් මිස දෝෂ දර්ශනයට ලක්විය යුත්තක් නොවේ.

එල්. ටී. ටී. ඊ. සටන් කරුවන් 600 – 800 අතර පිරිසක් සටනේදී මියගිය පුදුකුඩිඉරිප්පු’ සටනට පූර්වයෙන් පවා සටනට මැදි නොවී දිවි බේරාගෙන යන්නට සාමාන්‍ය ජනතාවට අවශ්‍ය තරම් කාලය තිබූ බව මනාව පැහැදිලි වන්නේ එම ප්‍රදේශයේ නිවාසවල වහල හා දොර කවුළු පවා ඉවත්කර ගෙන ගොස් ඇති බැවිනි. මෙහි සටන පැවතියේ වර්ග කිලෝමීටරයක තරම් ප්‍රදේශයකය.

 හතරවටින් වටකළ එම ප්‍රදේශයේ සාමාන්‍ය වැසියන් කිසිසේත් සිටිය නොහැකිය. එහි රෝහලකට බෝම්බ හෙළු බව පැවසී ඇතත් යුද්ධයක් පවතිද්දී රෝහලක රෝගීන් නොසිටිනු ඇතිසේම රෝගීන් ඉවත්කොට ත්‍රස්තයින් එහි ලැගුම් ගැනීමෙන් පසු එය රෝහලක් නොව ත්‍රස්ත තිප්පොලක් වී ඇති බව කාටත් වැටහෙන්නේය. එහෙත් එවන් රෝහල් ගොඩනැඟිල්ලකටද පහරදීමෙන් වැළකී සිටීමට තරම් ශ්‍රී ලංකා හමුදාව විනය ගරුක විය.

යුද්ධයේ අවසන් අදියරේදී එල්. ටී. ටී. ඊය 300000ක පමණ ජනතාවක් මිනිස් පලිහක් ලෙස යොදාගනිමින් හා ආරක්ෂිත කලාපයට පිවිසීමෙන් ඔවුන් වළකාලමින් ශ්‍රී ලංකා හමුදාවට ප්‍රහාර එල්ල කළහ. ඔවුන්ගේ තහනම නොතැකුවන්ට වෙඩි තැබිණ. එහෙත් මහා මිනිස් ඝාතනයක් සිදුවෙතැයි ලෝකයම බලාසිටියදී අවම හානියක් සහිතව සාමාන්‍ය වැසියන් සියල්ලම පාහේ මුදා ගැන්මට හමුදාව සමත්විය. මෙවන් ප්‍රසාදාත්මක තත්ත්වයක් තිබියදී පවා හමුදාවට දොස් තබන්නන්ගේ එකම අරමුණ ද්‍රවිඩ ඩයස්පෝරාව සැනහීම පමණි.

එල්. ටී. ටී. ඊය පරාජය කිරීමෙන් හමුදාව සිදුකළේ ඔවුන්ගේ ආධිපත්‍යයට නතුව තිබුණු භූමිය මුදාගැන්ම පමණක් නොව ඔවුන්ගේ දැඩි ග්‍රහණයට අසුව පීඩා විදි ජනතාවට නිදහස ලබාදීමයි. කොටි හමුදාවට බලයෙන් බඳවා ගනු ලැබීමෙන් අධ්‍යාපන වරම් අහිමිවූ දරුවන්ට යළි එම වරම හිමිකරදීමයි.

ඩයස්පෝරාව කළ යුත්තේ ඔවුන් අවුළුවාලීම නොව ඔවුනට අතදීමයි. සමහර තැනෙක ශ්‍රී ලංකා නිෂ්පාදන වර්ජනය කිරීමට පොළඹවන ඩයස්පෝරාව සිදුකරන්නේ දුප්පත් ජනතාවටම දඬුවම් පමුණුවාලීමයි.

එහෙත් ඔවුන් සිදුකළ යුත්තේ දශක තුනක් එල්. ටී. ටී. ඊ. සපත්තුවට පෑගී සිටි උතුරු නැඟෙනහිර ජනතාව සුඛිත මුදිත කළ හැකි සකලවිධ මංපෙත්වලට ආධාර කිරීමයි. ඒ වෙනුවට ඔවුන් සිදුකරන්නේ ඔවුන්ගේ බලය තහවුරු කරගැන්මට ඉවහල් වන පරිද්දෙන් ලෝක ප්‍රජාව මාර්ගයෙන් ශ්‍රී ලංකාවට චෝදනාත්මක බලපෑම් එල්ලකිරීමයි.

එල්. ටී. ටී. ඊය අන්තපරාජයකට පත්කළ යුද ජයග්‍රහණයට හමුදාවට අතිරේකව රටේ සමස්ත ජනතාවම විවිධාකාරයෙන් සහාය විය. බිම් මට්ටමේ සිටින පුරවැසියාගේ සිට ඉහළම මට්ටම දක්වා ජනතා සහායක් ඊට ලැබුණු අතර ජනාධිපතිවරයා ඊට නිසි නායකත්වය ලබා දුන්නේ ය. මෙහිදී හමුදාමය, දේශපාලනික, සමාජයීය හා අන්තර්ජාතික වශයෙන් නැඟුණු ප්‍රශ්න මනාලෙස හසුරුවමින් තිස් අවුරුද්දක දුර්වලතා මගහරවා ගැන්මට ජනාධිපතිවරයා සමත්විය.

සන්නද්ධ බලකායන් පුළුල් කිරීමට ඔහු පියවර ගත්තේ එබැවිනි. ශ්‍රී ලංකා හමුදාව හැමවිටම ත්‍රස්ත හමුදාවට වඩා විශිෂ්ට වුවද හමුදා ශක්තිය වර්ධනය කරනු පිණිස එය සංඛ්‍යාත්මකව නගාලිය යුතු බව ජනාධිපතිවරයා වටහාගෙන තිබිණ. ඒ අනුව හමුදාව තෙගුණයකින් වැඩිකිරීමට ඔහු පියවර ගත්තේ ය.

සංඛ්‍යාත්මක අඩුකම නිසා පටු පෙරමුණු ඔස්සේ ක්‍රියාත්මක වීමේදී එල්. ටී. ටී. ඊ. වටලෑම් වලට ගොදුරුවීමට සිදුවුවත් සංඛ්‍යාත්මකව වැඩීමක් සමග පුළුල් පෙරමුණු ඔස්සේ ක්‍රියාත්මක වීමෙන් පූර්ණ දුර්වලතාව මග හැරිණ.

තවද එල්. ටී. ටී. ඊ.යෙන් අල්ලාගත් ප්‍රදේශවල අඟලක් නෑර, ආරක්ෂා කරගනිමින් හමුදාව එම ප්‍රදේශවල රැඳවීමටත්, යළිත් එම ප්‍රදේශ එල්. ටී. ටී. ග්‍රහණයට නතුවීමේ පූර්ව දුර්වලතාව මගහැර ගැන්මටත් හමුදා වර්ධනය ඉවහල් විය.

ඊටත් අමතරව උතුරේ හමුදා මෙහෙයුම් අඩපණ කරනු පිණිස රටේ සෙසු පළාත් වලට මෙන්ම අගනුවරට රිංගා ආර්ථික මර්මස්ථානයන්ට පහරදීම හා සාමාන්‍ය වැසියන් ඝාතනය කිරීම වළකනු පිණිස ක්‍රියාත්මක වීමට හමුදාවට හැකි විය.

2005 වන විට පැවති හමුදාවේ සංඛ්‍යාත්මක ශක්තිය එල්. ටී. ටී. ඊය පරාජය කිරීමට කිසිසේත් ප්‍රමාණවත් නොවුනෙන් හමුදා සේනාංක බලඇණි ආදිය පුළුල්කරමින් 120,000 ක්ව පැවති හමුදාව 200000කට වැඩි සංඛ්‍යාවක් බවට පත්කරන ලදී. මේ සංඛ්‍යාත්මක පුළුල්කිරීම නාවික හා ගුවන් හමුදාවට මෙන්ම පොලිසියටද එකසේ බලපෑවේය.

සිවිල් ආරක්ෂක බලකායට 42,000 ක පිරිසක් බඳවා ගනිමින් ඔවුනට අවශ්‍ය යුද පුහුණුව ලබාදී ගම්මාන ආරක්ෂා කිරීමට පියවර ගත්තේ මානුෂීය මෙහෙයුමේදී ගම්මානවලට එල්ලවන කොටි තර්ජනයෙන් යුද මෙහෙයුමේ අවධානය නොගිලිහෙන පරිදිය.

මෙසේ හමුදා ශක්තිය තරකොට යුද්ධය ජයගතහැකිව තිබුණද දේශපාලන අස්ථාවරත්වය හේතුකොටගෙන රජය බිඳවැටුණේ නම් ත්‍රස්තවාදය අද ද පවතිනවා පමණක් නොව ප්‍රභාකරන්ද ජීවත්ව සිටින්නේ ය. එහෙත් සුළුතර රජයක පැවැත්ම මත යුද මෙහෙයුම අඛණ්ඩව ගෙනයාමට නම් ස්ථාවර රජයක් තිබිය යුතු බව ජනාධිපතිවරයා වටහාගත්තේය.

2007 අයවැය පරාජය වී නම් රජය බිඳවැටී යුද මෙහෙයුමට අත්වන ඉරණම අවබෝධ කරගත් ජනාධිපතිවරයා, කැබිනට් මණ්ඩලය පුළුල් කිරීමට පියවර ගත්තේය. මේ පියවර විපක්ෂයේ දැඩි විවේචනයට ලක් වුවද එවකට පැවති තත්ත්වය මත රජයේ හා දේශපාලන ස්ථාවරත්වය පිණිස එය අත්‍යවශ්‍ය සාධකයක් විය.

ඒ සමඟම ජනතා ප්‍රශ්නවලින් බැහැරව යුද්ධය කෙරෙහි පමණක් අවධානය යොමුකොට සිටියේ නම් ජනතාවගෙන් යුද ප්‍රයත්නයට ලැබෙන ජන සහාය ක්ෂය වන බව දත් ජනාධිපතිවරයා දුෂ්කරතා මධ්‍යයේ වුව සුබසාධන ආයෝජනයන් වැඩිකරමින් ගොවීන් දුෂ්කරතාවයෙන් මුදවනු පිණිස පොහොර සහනාධාරයක්ද ලබා දුන්නේය. එපමණකින් නොනැවති රජයේ සේවකයින්ගේ වැටුප් වැඩිකළේ ය. හම්බන්තොට වරාය, නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය උමා ඔය ව්‍යපෘතිය වැනි දැවැන්ත සංවර්ධන ව්‍යාපාරද ආරම්භ කළේ ය.

ඉන් දෙවසරකට පෙර සුනාමි ව්‍යසනයෙන් ඇතිවූ යටිතල ව්‍යුහ විනාශය යළි ප්‍රකෘතිමත් කිරීමට මෙන්ම රටේ මාර්ග ජාලය නඟාලීමටද ජනාධිපතිවරයා ක්‍රියාකළේ යුද්ධය පවතිද්දීමය. මේ අතර යුද බිමෙන් බැහැර අග නගරය ඇතුළු ප්‍රදේශවල සිදුවුණු ත්‍රස්ත ක්‍රියාවන්ට සම්බන්ධ හැම කෙනෙකුම අත්අඩංගුවට ගැනීමද සිදුවිය. බුද්ධි අංශ හා පොලිසිය මෙයට සහයෝගය ලබා දුණි.

දැන් යුද්ධය අවසන් වී තෙවසරකි. තිස් අවුරුද්දක බිය සැක සංකා තුරන් වී රටට සාමය උදා වී තිබේ. තවදුරටත් සටන් කළ යුතු නැත. සකලවිධ නිදහස අපි දැන් භුක්ති විඳිමු. එහෙත් අපේ අනාගත පරපුරට එම නිදහස අත්විඳීමට හැකිවන පරිදි යළිත් ත්‍රස්තවාදයට හිස එසවීමට ඉඩ නොතැබීමේ වගකීම අප සියල්ලන් සතුය. මෙහිදී රටේ ආරක්ෂාව අංක එක බව අප සිහියේ තබාගත යුතුය. ඒ සඳහා අප විසින් පූර්වාරක්ෂක පියවර ගත යුතුව තිබේ.

උදාවී ඇති සාමය මෙන්ම රටේ ආරක්ෂාව තහවුරු කරගනු පිණිස බුද්ධි අංශ කටයුතු හා තොරතුරු රැස්කිරීම වැඩි දියුණු කළ යුතුය. ඒ අනුව යම් තත්ත්වයක් පැන නැගුනොත් මුල් අවස්ථාවේදීම ඊට විසඳුම් ලබාදිය හැකිය.

එල්. ටී. ටී. ඊය වනාන්තරගතව වර්ධනය වූවක් බව අප අමතක නොකළ යුතුය. එහෙයින් උතුරේ වන්නි වනාන්තරය මෙන්ම නැඟෙනහිර තොප්පිගල වනාන්තරය ද නිරන්තර විමසිල්ලට භාජනය විය යුතුය.

මුලතිව් වනයේ සඟවන ලද යුද අවි තවමත් හමුවන බැවින් මේ සම්බන්ධයෙන් දැඩි අවධානයක් පවත්වා ගත යුතුය. අතරම ද්‍රවිඩ ඩයස්පෝරාව මෙන්ම ශ්‍රී ලංකාවට එරෙහි සෙසු කොටස් ගැන ද අවධානය ගිලිහී යා නොදී පවත්වා ගත යුතුය. එල්. ටී. ටී. ඊ අන්තර්ජාතික ජාලය, තවමත් සක්‍රීය බව අමතක නොකළ යුතුය. එල්. ටී. ටී. ඊ. හිතවාදීන්ට ඔවුන් බලපෑම් කරනු ඇත. යටත්වුණු එල්. ටී. ටී. ඊ. සාමාජිකයන් කෙතරම් දුරට තොරතුරු අනාවරණය කරනු ඇත්ද යන්න අපි නොදනිමු. සමහර එල්. ටී. ටී. ඊ. ක්‍රියාධරයෝ තවමත් සැඟවී සිටිති.

මේ අනුව පෙරදීට වඩා වෙනස් ආරක්ෂක පියවරයන්ට අනුගතවීමට අපට සිදුව තිබේ. එල්. ටී. ටී. ඊ.ය අවි ආයුධ හා විදේශයන්හි යුද පුහුණුව ලද්දවුන් මෙරටට ගෙන එන ලද්දේ මූදු මාර්ගයෙනි. එහෙයින් සාගරික ආධිපත්‍ය පවත්වා ගැන්ම අත්‍යවශ්‍යය. මේ සම්බන්ධයෙන් නාවික හමුදාව හා බුද්ධි අංශයට පැවරී ඇති කාර්යභාරය අති විශාලය.

සැබෑ ජයග්‍රහණය වන්නේ ජනතාවට සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමේ නිදහස ලැබීමයි. ඒ අනුව 30 වසරකට පෙර ගිලිහීගිය ජීවන රටාව යළි යථාවත් කිරීම නියම ජයග්‍රහණය වන්නේය. 30 වසරක් එල්. ටී. ටී. ඊ. යුද මානසිකත්වය අත්විඳි උතුරු නැඟෙනහිර ජනතාව ඉන් මෙපිට ජීවිතයක් නොදක්නා අතර දැන් ඔවුනට යුද අවියෙන් හා යුද්ධයෙන් එපිට ලෝකය දැකගැන්මට හැකිව ඇත. ජනාධිපතිවරයාගේ නැඟෙනහිර නවෝදය හා උතුරු වසන්තය වැඩසටහන් ඊට පිටුබල වී තිබේ.

ඒ සමඟම උතුරේ හා නැඟෙනහිර ජනතාව මෑතදී අත්විඳි මැතිවරණ ක්‍රියාදාමයෙන් අවි අතට ගෙන නැසෙනවාට වඩා අයිතිවාසිකම් දිනා ගැන්මට මගක් ඇති බව ඔවුන් අවබෝධ කර ගෙන ඇත. එහෙත් මෙහිදී දේශපාලන පක්ෂ ඔවුනට යළි ජාතිවාදී විස නොකැවීමට වගබලාගත යුතුය. ද්‍රවිඩ නිජබිම හා බලය බෙදීම වැනි එල්. ටී. ටී. ඊ. මානසිකත්වය යළි තහවුරු කිරීමට පියවර නොගත යුතුය.

මානුෂීය මෙහෙයුමේදී ත්‍රිවිධ හමුදාව පොලිසිය හා සිවිල් ආරක්ෂක බලකාය සිදු කළ කැපවීම් ඉතිහාසය පුරා සැමරෙනු ඇත. එම කැපවීම් මිල කළ නොහැකිය. ඉකුත් 30 වසරේදී ආරක්ෂක බලකායන්ට අයත් 26,000කගේ ජීවිත අහිමිවී ඇත. තවත් 20,000ක් පමණ ආබාධිත වී තිබේ. ත්‍රස්තවාදය නිසා ජීවිතක්ෂයට පත් සාමාන්‍ය ජනතාවද අප අමතක නොකළ යුතුය. මේ කුරිරු ත්‍රස්තවාදය නිසා පියා හෝ සහෝදරයන් අහිමිවූ දරුවන් හා පවුල් බොහෝ ය.

ඒ අනුව ඔවුන් රට වෙනුවෙන් සිදුකර ඇති කැපවීම බෙහෙවින් උදාරය. උතුම්ය. සෙසු ජනතාවට සාමකාමී ජීවිතයක් ගතකරනු පිණිස සන්නද්ධ බලකායන් ඔවුන්ගේ දිවි පුදා තිබේ. ඒ බව අප අමතක නොකළ යුතුය. එහෙයින්ම රට වෙනුවෙන් දිවි දුන් උදාර, රණ විරුවන් මෙන්ම ආබාධිත රණවිරුවන් හා ඔවුන්ගේ පවුල්වල අය වෙනුවෙන් රජයෙන් ඉටුවන සේවයෙන් ඔබ්බට ගොස් ඔවුනට පිහිටවීම අපේ යුතු කමකි.

අපේ මිනිස්කම ගැන     

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=12818

1 comments

    • Rohan on January 26, 2013 at 8:53 pm
    • Reply

    Mage ranaviruwani obatath Obata nayakathwaya dun samatath satanade dividun viruwantath mage uthtamacharaya Theruwan Sarani
     

Leave a Reply