ලකුණ්ඨක භද්දිය මහ රහතන් වහන්සේ

ගෞතම බුදු සසුනෙහි මිහිරි හඬ ඇති භික්‍ෂූන් අතර අග තනතුර ලැබුයේ ලකුණ්ඨක භද්දිය මහරතන් වහන්සේයි. කලින් සඳහන් කළ ශාක්‍ය වංශික භද්දිය රහතන් වහන්සේ නොව ධනවත් කුලයක උපන් කෙනෙකු වශයෙන් මේ ලකුණ්ඨක භද්දිය හිමියන් හැඳින්වෙනවා. අනෙකුත් මහරහතන් වහන්සේලා මෙන්ම උන්වහන්සේත් පදුමුත්තර බුදුරදුන්ගෙන් විවරණ ලබා කල්ප ලක්‍ෂයක් පාරමී දම් පිරුවා. දීර්ඝ කාලයක් විවිධ ආකාරයෙන් දානාදී පින්කම් සිදු කළා.

මිහිරි හඬක් ලැබීම සඳහා විශේෂයෙන් බලපෑ පින්කමක් තියෙනවා. විපස්සි බුදුරදුන්ගේ කාලයේ දී ලකුණ්ඨක භද්දිය හිමියන් “ඛේම” නම් මුව වනයෙහි ‘චිත්‍රපත්‍ර’ නමින් කොවුලෙක්ව ඉපිද සිටියා. එක් දිනක් ඉතා මිහිරි අඹයක් හිමාලයේ සිට පැටවුන්ට දීම සඳහා ගෙන පියාසර කරමින් සිටියදී කොවුලා දැක්කා පිරිවර භික්‍ෂූන් සමඟ වඩින විපස්සි බුදුහාමුදුරුවන්. මහත් සේ පැහැදීමට පත්ව ඒ අඹ ගෙඩිය බුදුරදුන්ගේ පාත්‍රයට පූජා කළා. විපස්සී බුදුරදුන් පසෙක වැඩ හිඳ එය වළඳන බව දුටු කොවුලා මහත් සතුටට පත් වුණා. මිහිරි කටහඬක් ඇතිවීමට ඒ මිහිරි අඹ ගෙඩිය පූජා කිරීම හේතු වුණා.

ඕනෑම කෙනෙකුට බලාපොරොත්තු යම් සම්පතක් ලබා ගැනීමට නම් එයට අදාළ වූ පිනක් කළයුතු වෙනවා. ඉතා මිහිරි ලෙස ආහාරපාන පූජා කිරීම, රසවත් පලතුරු ආදිය පූජා කිරීම, අන් අයගේ සිත් ඇද ගන්නා මිහිරි කටහඬක් ඇතිවීමට හේතුව වෙනවා එපමණක් නොව මුඛයේ මනා ලෙස දත් පිහිටීම, දුගඳ වහනය නොවීම, ශරීරය සිත් ඇද ගන්නා වර්ණ සම්පත්තියෙන් යුක්ත වීම, නිරෝගී සම්පන්න වීම ආදී ආනිශංස රාශියක් එවැනි පූජා වලින් ලබා ගන්න පුළුවනි. මේ නිසා අප බුදුරදුන්ගෙන් මිහිරි කටහඬ ඇති භික්‍ෂූන් අතර අග තනතුර ලබා ගන්නට කළ ප්‍රාර්ථනාව ඉටුකර ගන්නට පුළුවන්කම ලැබුණා.

රහත් භාවයට පත්ව අග තනතුරු ලැබුවත් ශ්‍රාවක සංඝයා අතර ඉතා මිටි බවට පත්ව වැඩ සිටියේ මේ භද්දිය හාමුදුරුවන් බව පේනවා. ඒ නමට මුලින් ඉතා මිටි යන අර්ථය ගෙන දෙන ‘ලකුණ්ඨක’ යන අන්වර්ථ නම එකතු කොට සෑම දෙනාම හැඳින්වූවා. මෙසේ මිටි වීම සාමාන්‍යයෙන් සිදුවූවක් නොවෙයි. තමා විසින් ම පෙර කරන ලද අකුසල කර්මයක විපාකයෙන් සිදුවූවක් වශයෙන් අපේ ධර්ම ග්‍රන්ථ පෙන්වා දී තිබෙනවා. කාශ්‍යප නම් බුදුරදුන්ගේ කාලයෙහි මේ හාමුදුරුවන් ඉතා දක්‍ෂ ප්‍රධාන වඩුකාර්මිකයෙකුව ඉපදී සිටියා. ඒ බුදුරදුන් පිරිනිවන් පෑ පසු උන්වහන්සේගේ ධාතු තැම්පත් කර විශාල චෛත්‍යයක් බැඳීමට බොහෝ අය එකතු වී යෝජනා කළා. එසේ කිරීමේ නිෂ්ඵලතාව පෙන්වා දෙමින් මේ ප්‍රධාන වඩු මහතා කුඩා චෛත්‍යයක් ඉදිකිරීම ප්‍රමාණවත් යැයි කරුණු පෙන්වා දුන්නා. අන්තිමේ ඔහුගේ අදහස තමයි අන් අයද පිළිගත්තේ. මහා සෑයන්ගොඩ නැඟීමේ මහා පින්කම කුඩා කොට කිරීමට දුන් උපදේශය හේතු කොටගෙන එහි විපාක වශයෙන් මිටිව උපත ලැබූ බව චරියාපිටකය පෙන්නා දී තිබෙනවා.

ලකුණ්ඨක භද්දිය හිමිපාණන්ගේ චරිත කතාව හරි ලස්සන රසවත් එකක්. උන්වහන්සේ බුදුරදුන් වැඩ සිටි ආරාමයේ ම වැඩ සිටියා. බොහෝ අය ඔළුවෙන්, කනෙන් නැතිනම් නහයෙන් අල්ලමින් අදිමින් මොනවද බාප්පේ ඔතන කරන්නේ ආදී වචන කියමින් නිතරම විහිළු කරන එක සිරිතක් හැබැයි ඒ විහිළු වලට කිසි දිනක තරහ ගත්තේ නෑ. කෝපයෙන් කතා කළේ නෑ. මේ පුදුම සහගත ගතිය පිළිබඳ භික්‍ෂූන් බුදුරදුන්ට දැන්වූවා. එවිට බුදුරදුන් පෙන්වා දුන්නා මගේ ලකුණ්ඨක භද්දිය භික්‍ෂු නම ඒ උතුම් ගුණයෙන් යුක්තව සිටින්නේ වෙන කිසිවක් නිසා නොව රහත් භාවයට පත් වූ නිසාය කියා.

ධම්මපදට්ඨ කථාවෙහි ලකුණ්ඨක භද්දිය හිමියන් මුල්කොට බුදුරදුන් පෙන්වා දී තිබෙනවා මහා ගල් පර්වතයක් මොනතරම් විශාල සුළඟක් ආවත් හොලවන්නට හැකි නොවන්නාක් මෙන් ධර්මය අවබෝධ කරගත් රහතන් වහන්සේ ද ලාභ, අලාභ, අයස, යස, නින්දා, ප්‍රශංසා, සැප, දුක් යන කවර කරුණකට මුහුණ පෑවත් කම්පා නොවන බව, අද වුවත් කෙනෙකු රහත් වී ඇත්දැයි දැන ගැනීම සඳහා ඇති හොඳම මාර්ගය මේ අටෙන් එකකට හෝ මුහුණ පෑ විට කම්පා වේදැයි විමසා බැලීමයි. රහත් උතුමන් මේ කිසිම තැනක කම්පා වීමක් නෑ. මේ ලකුණ්ඨක භද්දිය මහා ශ්‍රාවකයන් වහන්සේ අපට කියා දෙන එක් පාඩමක් එය වන අතර අනික් අතට අප බලාපොරොත්තුවන සැප සම්පත් ලබා ගැනීමට කවර ආකාරයේ කුසල් කළයුතු ද යන්න ගැන ද වැටහීමක් ඇති කරනව. මේ මගින් අපිත් දහම් මඟට යොමු වෙමු.

සද්ධර්ම කීර්ති ශ්‍රී ත්‍රිපිටකාචාර්ය
දිවියාගහ යසස්සි නා හිමි

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=12561

Leave a Reply