මාංස අනුභවය ගිහියන් සම්බන්ධයෙන් ‍කෙසේ විය යුතු ද?

මාංස අනුභවය ගිහියන් සම්බන්ධයෙන් අදාල වන්නේ කෙසේ ද යන්න පිළිබඳව කෙරෙන පළකිරීමෙකි. 

කෙනෙකු මෙය පාපයක් යැයි කියති. තවෙකෙකු එසේ නැතියැයි කියති. කෙසේ වුව ද, සියළු ධර්මයෝ මනස පෙරටු කොට ගනිමින්ම පවතින්නෝය. කර්මය නම් චේතනාවම වන්නේය. එහෙයින්, එහි කුසල් අකුසල් ස්වභාවය මෙසේ පෙන්වා දිය හැක.

ඇලුණු ගැටුණු සිතින් අල හෝ බණ්ඩක්කා කැවේ වුව ඇති වන්නේ අකුසලයකි. සතර මහා භූත වශයෙන් සසඳමින්, එනම්, මනාව ප්‍රත්‍යවේක්ෂ කරමින් ගව මස් වුව වැළඳී නම් ඒ මහා කුසලයකි. එය මෙනෙහි කිරීමෙන්ම සියළු කෙළෙසුන් නැසීමට තරම්ම වන මහත් කුසලයකි.

“සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්ඡකරනත්ථාය ඉමං කාසාවං ගහෙත්වා පබ්බාජෙථ මං භන්තේ අනුකම්පං උපාදාය” යනුවෙන්, සියළු දුකින් මිදීම පිණිස යන එකම ඍජු අදිටනින් යුතුව තථාගත ශාසනයට ඇතුලත්ව, අතිමහත් වූ සංවර ශීලයක් රකිනු ලබන මහා සංඝරත්නය එබඳු ආහාර වැළඳීම් ද, සෙසු සිව් පස පරිභෝජනයෙන් ද යුත්තෝ වෙති.

ඒ කෙසේ විය යුතු ද යත්; පෙර ද මෙහි පළ කිරීමක සවිස්තරව දක්වා ඇති පරිද්දෙන්, කතරක අතරමංව ආහාර ද අවසන්ව සිටින මාපිය යුවලක්, එහිඳී මිය ගිය තම එකම ළදරුවාගේ නව ආකාරයෙන් පිළිකුල් සහිත මාංසය, ඇලීමෙන් ගැටීමෙන් තොරව වළඳනවාක් මෙන්, තථාගත ශ්‍රාවකයෝ ද ආහාර පරිභෝජනය කරන්නෝ විය යුතු බව පුත්තමංසෝපමයෙන් සර්වඥයන් වහන්සේ වදාලහ.
http://www.dhammikaweb.com/?p=11628 

කුසයට ගිය පසු, කෙළ, ආමාශයික යුෂ ආදී නොයෙක් දැ සමඟ මිශ්‍රව බලු වමනයක ස්වභාවයක් ගන්නා ආහාරය ගැන ශ්‍රාවකයන් වහන්සේලාගේ ඇලීමක් නොමැත්තේමය. එසේ වුව, සිංහා දී රුදුරු සතුන්ගේ මාංසයන් වැළඳීමෙන් පසු එහි ඉව ඔස්සේ පැමිණි මෘගයින්ගෙන් උන්වහන්සේලාට වූ ජීවිත හානි හේතුවෙන් ද, අශ්වා දී සතුන්ගේ මාංසයන් වැළඳීමෙන් ලෝක රීතීන් ඛණ්ඩනය වීමෙන් ඇතිවූ අපකීර්තින් හේතුවෙන් ද ආදී වශයෙන්, තථාගතයන් වහන්සේ විනයේ දී විශේෂ දහයක සත්ව මාංසයන් මහා සංඝයා වි‍ෂයෙහි අකැප බව වදාලහ.

තමන් වහන්සේලාගේ කිසිදු අනුදැනුමකින් තොරව, ඉතා ශ්‍රද්ධාවෙන් අනුන් විසින් පිළිගන්වනු ලැබුවේ සත්ව මංසයක් වුව, තමන් වෙනුවෙන් නොමැරී බව දුටුවේ නැති නම්, එසේ බව නොඇසී නම්, එවන් බවට සැකයකුත් නැති නම්, සත්ව මංසයක ද, අන්‍ය කවර ආහාරයක ද වැරදි ස්වභාවයක් නොමැත්තේය. එම ආහාරයේ ධාතුන් ශරීර‍යේ ඕජාවන් සමඟ එක්ව එහි ශක්තිය ශරීරයේ උෂ්ණය ආරක්ෂා කරමින්, ජීවිතය පවත්වනවා ගැනීමට උපකාර වනවා පමණක්ම බැවිනි. එසේ හෙයින් තථාගතයන් වහන්සේ තමන් වෙනුවෙන් නොමැරූ යන අරුතින් ත්‍රිකෝටි පාරිශුද්ධ මංසය වැළඳීමට කැප බව වදාලහ. අදත්තාදාන පාරාජිකාවන් ඇතුලු විනය කරුණු වල දී ද, භික්ෂුන් විෂයේ දී මංස අනුභවයේ නිදොස් බව වදාලහ.

ඒ මහා සංඝරත්නය සම්බන්ධයෙන් මෙය අදාල වන ආකාරයයි.

ගිහියන් වන අප වෙළඳසැලට ගොස් උපයා ගත් මුදලින් ආහාර මිල දී ගෙන අනුභව කරන්නෝ වෙමු. එහි දී මේ සම්බන්ධයෙන් මෙහි හැසිරීම කෙසේ විය යුතු දැයි මනා විවෘත වූ මනසින් යුතුව විමසා බැලීමට බුද්ධිමතුනට විවෘත කරමි.

මාංසමය නොවන ශාකමය ආහාරයන්ගෙන් ශරීරය පවත්වාගෙන යාමට ඇතිතරම් පෝෂණය ලැබ ගත හැකි බව ආහාර සම්බන්ධයෙන් වන පෝෂණ සටහන් පිරික්සී නම් ඕනෑම අයකුට වටහා ගැනීමට හැකිය. එවන් වූ පෝෂණීය තත්වයෙන් යුතු ආහාර ද්‍රව්‍යයක් ගත හැකිව තිබෙන මුදලින්, එනම්, පරිප්පු හෝ බෝංචි වැනි ශාකමය ආහාරයක් ගැනීම වෙනුවට වියලි හාල්මැස්සන් හෝ, මරණ ලද කුකුලකු හෝ, හරකකුගේ කොටසක් මිල දී ගැනීමට සිතේ නම්, ඒ ගිහියා හුදු රස ලොබින්ම හැර අන්‍ය හේතුවකින් නොවන බව දත යුතුය.එමෙන්ම, තථාගතයන් වහන්සේ විසින් අංගුත්තර නිකාය, පංචක නිපාතය, උපාසක වග්ගයේ අකරණීය වනිජ්ජ සූත්‍රයේ දී ද මනාව දක්වා ඇති උපාසකයකු විසින් නොකළ යුතු වෙළඳාම් පසෙන් එකක් වන ‘මංස වණිජ්ජ’ හෙවත් මාංස වෙළඳාමට අනුබලයක් දීමක් ද වන්නේය.

එමෙන්ම බොදුනුවන් වශයෙන් ද, මනුෂ්‍යයින් වශයෙන් ද අප ඉතාමත් සානුකම්පිතව සැලකිය යුතු වැදගත් කරුණක් මෙහි දී දක්වමි.

අප ගෙවන මේ මනුෂ්‍ය ජීවිතය ඉතාමත් කලාතුරකින් පමණක් සත්ත්වයකුට උරුම වන්නෙකි. නිසි පංච ශීලයේ පිහිටීම ඇතුළු දස කුසලයේ යෙදීමම මෙම මනුෂ්‍යත්වය ලැබීමේ සාධකය වන අතර, එයින් අපගමනය වන්නේ නම් මනුෂ්‍ය භාවයට පහත් තැනකට ගමන් කිරීම නොවැලැක්විය හැක්කේය. තම ජීවිතය ද, දරුවන්ගේ ද, මව්පිය ආදීන්ගේ ද ජීවිත පෝෂණය පිණිස සත්ත්ව ඝාතනය සම්බන්ධ වෘත්තීන් සිය ජීවිකාව වශයෙන් තෝරාගත් අය සිටිති. එවැන්නො කවර අරමුණකින් යුතුව එහි යෙදෙන්නේ වුව, එම පුරුද්දම ඔවුන්හට බොහෝ අකුසල් රැස් වීම පිණිස ද, මරණින් මතු දුගතියේ ඉපිදීම පිණිස ද හේතු වන්නේය. නමුදු, ප්‍රජාවක් වශයෙන් අප‍ අතරින් බොහෝ දෙනෙකු, මාංසමය ආහාර මිල දී ගැනීමෙන් වැලකී ශාකමය ආහාර පමණක් අනුභවයට යොමු වන්නේ නම්, එය එවන් ජීවිකාවන්හි නිරතව දුගතිගාමී වන්නන් එයින් වැලකීමට මනා අනුබලයක්ම වන්නේය. මන්ද, එවිට එවැන්නන් බොහෝ දෙනෙකු ආහාර භෝග වගාව හෝ, එසේ නොකළ හැකි ප්‍රදේශයක් නම් අත්කර්මාන්ත වැනි ජීවිකාවකට යොමු වන බැවිනි.

නිවන් මග ඍජුව ඉලක්කයෙන් පිළිවෙත් පුරන්නා වූ ද, මහා ශීලයක් රකින්නා වූ ද, සිව්පසය ප්‍රතයවේක්ෂ කර පරිභෝජනය කරන්නා වූ ද, මහා සංඝරත්නය විෂයේ පනවන ලද සියුම් විනය කරුණු ද, ජීවක,ආමගන්ධ බමුණා වැනි පුද්ගලයන් සම්බන්ධයෙන්, තථාගතයන් වහන්සේට පමණක්ම සාධාරණ වූ ඉන්ද්‍රිය පරෝපරියප්ති ඥාණයෙන් විමසමින් කරනු ලැබූ දේශනාවන් ද,හුදු දිව පිනවීමේ ලොබින්ම පමණක් සත්ව ඝාතනය, මස් වෙළඳාම හා අනුභවය සාධාරණීකරණය පිණිස යොදා ගැනීම ද, එවන් ජීවනෝපායන් කිරීම ද, එයට අනුබල දීම ද සුදුසු බවට බොදුනුවන්ට ඒත්තු ගැන්වීමට යාම ඉතාමත් අශෝබනය.

අපට අකුසල් නැතැයි ද, තථාගතයන් වහන්සේ මහා සංඝයා වෙත තහනම් නොකළැයි ද, යනුවෙන් හුදු තමන් ගැනම පමණක් කටයුතු කරමින්, ‍විසීම බොදුනු සමාජයකට නුසුදුසු වේ. යම් රටෙක බොදුනුවන් බහුල නම් එහි මාංස නිෂ්පාදනාදියේ යෙදෙන්නන් බහුල වීමට හේතු නොමැති විය යුතුය. එහි ධාර්මික වෘත්තීන් කිරීමට අනුබල සපයන පරිසරයක් ඇති වීම විය යුතුමය.

 

.

 

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=11997

3 comments

    • Anu Kern on December 31, 2011 at 5:58 pm
    • Reply

    Agana lipiyaki.Bhikkshun wahansela mansha ahara walandeema gna dos kiyanna bari wanne danaya sandaha dayakayan piliganwana nisa saha ema aharaya hudek kusagini niwaganima sandaha pamanak unwahansela walandana bawini.Eheth unwahansela dayakayan lawa dana laisthuwata mansha illa sitina atham viharasthana gana asa aththemi.Evani awasthawaladi samahara gihi aya dos kiyaminma ema dana sapana atharama akusalda ras karaganithi.
      Gihi apath budunwahanse kisima thanaka mansha anubhawaya thahanam kara nathai saha trikotika parishuddha manshaya anubhwa kalata kamak natha yannada ada kalayata apata nogalapenne,nuthna maddyan haraha sathwa gathana sidukarana ayuru apata nithrama dakinnata labena nisa wana athrama,apa miladi ganne rasayata athi lobha nisawenda bawini.Thawada wakkrakayen apa sathun marimata anubala demak wanne illumata sapayuma siduwana nisaya.
        Hithata ekangawa sitha balanno mansha anubawaya hela dakina athra rasayata lobin budurajanan wahanseth mnsha wanduwa nam apa kawama mokadai vimasanno emataya. Sabbe satta bhawanthu suchi thatha kiyamin sathunge mas kese anubhawa karamuda? 

  1. Reasons why you should become vegetarian

    21 REASONS for being VEGETERIAN

     Vegetarianism is the fastest growing trend in the developed world. Here are 21 reasons why you should think about turning green too.

    http://www.giveusahome.co.uk/articles/vegetarianism.htm

     

     

     

  2. “එමෙන්ම බොදුනුවන් වශයෙන් ද, මනුෂ්‍යයින් වශයෙන් ද අප ඉතාමත් සානුකම්පිතව සැලකිය යුතු වැදගත් කරුණක් මෙහි දී දක්වමි.” කොටස ඇතුලත් කිරිම ගැන ඔබට ස්තූති වන්ත වෙමි. මම හැම තැනම කියන දෙයක්. මස් කෑමේ පවක් නැති බව කියන්න ඕන තරම් අය සිටියත්, සත්ව කරුණාවෙන් සහ සත්ව ඝාතකයක් ගැන කරුණාවෙන් මාංස අනුභවයෙන් වැලකෙන්නේනම් එය කුසල කර්මයක් බව කියන්න මගහරරිනව. නැත්තන් මග හැරෙනව 🙂

Leave a Reply